Tuesday, December 21, 2010

"ආදරයේ පරිත්‍යාගය"

මං අද සතුට වෙන්නද දුක්වෙන්නද දන්නේ නෑ. ඒ වුනාට දුකයි සතුටයි දෙකම තදේටම දැනෙනවා. හැබැයි දුක පැත්තට බර වැඩී වගේ.. මට අද ගොඩක් සතුටු වෙන්න පුලුවන් මම නිසා වුන හොඳ දෙයක් වෙනුවෙන්. මට අද ඒ තරමටත් වඩා දුක් වෙන්න පුලුවන් ඒ හොඳ දේ නිසා මට අහිමි වුන දෙයක් නිසා. ඒ නිසයි මම කිව්වේ දුක පැත්තට බර වැඩී කියලා..

මට සචිනි හම්බ වුනේ ගිය අවුරුද්දේ.. අග හරියේදී. මං හිතන්නේ නොවැම්බර් මාසේ අගදී විතර. කම්පියුටර් එකටම මම හිර වෙලා හිටපු කාලේ. සයිබ‍රයේ යාලුවෝ වැඩිපුරම මුණගැසෙන තැනදී. මූණුපොතේදී. මූණුපොතේදී හම්බවෙන යාලුවෙක් නිසා මේ තරම් දුක්වෙවී එයා වෙනුවෙන් ජීවිතේ වටිනා දෙයක් නැතිකරගත්ත අය ඉන්නවාද? එහෙම අය මෝඩයෝද? දෙවෙනි ප්‍රශ්නෙට කොහොම වුනත් මම පළවෙනි ප්‍රශ්නෙට හොඳින්ම උත්තරය දන්නවා. එහෙම අය ඉන්නවා. ‍උදාහර‍ණයකුත් ඕනෙ නම් මව ගන්න උදාහරණයට..

සචිනි මට මූණුපොතේදී හම්බ වුනාට එයා මට විශේෂ කෙනෙක් වුනේ නෑ. කාලයක් ගත වෙනකම්. ඒ වුනාට මේ අවුරුද්දේ ජනවාරි මාසෙදී විතර ගොඩක් හොඳ යාලුවෝ වෙන්න පටන්ගත්තා. ඒ එයා හිටිහැටියෙම ඉල්ලපු උදව්වක් නිසා. මට ඒක කරන්න පුලුවන් වුනා. ඒ වගේම අපි දෙන්නා ඒ දේ නිසා ගොඩක් ලං වුනා. කාලයක් යද්දී මට සචිනිව නැතිවම බැරි තරමට. ගොඩක් වෙලාවට මම ෆේස්බුක් ලොග් වෙනකොට සචිනිට රින්ග් කරනවා. එයා ලොග් වෙනවානම් මටත් රින්ග් කරනවා. කාලයක් ගත වුනා. අපි ගොඩාක් ලං වුනා. ඇත්තටම මම එයාට ආදරේ පටන් අරගෙනද කියලා මටම ප්‍රශ්නයක් වුනා. ඔව්.. මං එයාට ආදරේ කලා ගොඩක්.. පිංතූරෙකින් දෙකකින් දැකපු කෙනෙක්ට ආදරේ කරන්න බැරිකමක් නෑනේ. එයාගේ අදහස් වලට, කතා කරන විදියට හැම දේටම මං ආදරේ කළා.. ඒ වුනාට මං මගේ ආදරේ ගැන එයාට කියන්න ගියේ නැත්තේ එකම හේතුවක් නිසා. සමහරවිට මං මගේ ආදරේ ගැන එයාට කිව්වොත් මට එයාගෙ යාලුකමත් නැති වෙයි කියලා බය හිතුණු නිසා. ඒ වුනාට වැඩි කාලයක් යන්න කලින්ම තවත් හේතුවක් ඒකට එකතු වුනා. සචිනි දවසක් මට කියපු දෙයක් නිසා.

සචිනි එක්ක කතා කරද්දී එයා දුකකින් ඉන්නවා කියලා මට දැණුන නිසා මම නිකමට වගේ ඇහුවේ "සචිනි ඔයා මොකක් හරි දුකකින්ද ඉන්නේ?" කියලා. ඒ වුනාට ඒකට ඒ වෙලාවේ හරියට උත්තරයක් නොලැබුණාට ටික වෙලාවකින් කියන්න පටන්ගත්තා. එයාගේ ආදරය ගැන. එයා ආදරය කළ කෙනා ගැන. ගොඩාක් දේවල්.ම‍ගේ හිත රිදෙන්න වුනාට මොකද ඒ බවක් කියන්නේ නැතිව සචින කියන හැම දෙයක්ම අහගෙන හිටියා. පුලුවන් තරම් උත්සාහ කළා සචිනිගේ හිත හදන්න. සමහර විට මං සාර්ථක වෙන්න ඇති. ගොඩ දවසක් යනකම් ආයෙමත් ඒ ආදරය ගැන මගෙත් එක්ක කතා කලේ නෑ. ඒ වගේමයි මගේ ඒකපාර්ශවික ආදරය ගැන සචිනිට දැනගන්න දුන්නෙත් නෑ. ඒත් එක දවසක් මට ලොකු උවමනාවක් ඇති වුනා කලින් ආදරය කළ කෙනාගෙන් සචිනිට වෙන් වෙන්න හේතුව මොකක්ද කියලා. සචිනිගේ හිත රිදෙනවා මං ඒක ඇ‍හුවොත්. ඒත් අහන්නේ නැතිවත් බැරිම තැන මම ඒක ඇහුවා. ‍මේ වෙනකම් කිසිම දවසක හම්බවෙනා නෙහිටපු සචිනි ඒ වෙලාවේ මගෙන් ඇහුවේ අපි හම්බවෙමුද කියලා.

ඒක කියාගන්න බැරි තරම් සතුටු වෙන්න පුලුවන් මොහොතක් වුනත් මම දන්නවා සචිනිට මාව හම්බ වෙන්න ඕනේ එයාගේ හිතේ හිර වෙලා තියෙන දේවල් මගෙත් එක්ක කියලා හිත නිදහස් කරගන්න කියලා. එයාගේ හිත නිදහස් වෙනවා වගේම මගේ හිත රිදෙන දවසක් උදා වෙනවා.. කොහොම වුනත් ඒ දවස් වල සචිනි හිටියේ වත්තල. සචිනිගේ ගෙදර තියෙන්නේ නුවර. ඒ වුනාට ඒ දවස් වල හිටියේ මාමාගේ ගෙදර. කොහොම හරි සචිනි ආයෙත් නුවර ආවේ මාව හම්බවෙන්නමයි. ඇවිල්ලා ගිය අගෝස්තු මාසේ අගදී නුවරදී අපි මුලින්ම හම්බ වුනේ.. එදා සචිනි ගොඩාක් වෙලා කතා කලා. මම වචන පනහක්වත් කතා කරන්න නැතිව ඇති. එයා ගැන, එයාගේ ආදරය ලැබු‍ණු සමීර ගැන, සචිනි ළඟ නැති වුනත් එයා තාමත් ඉස්සර වගේම ආදරේ කරන සචිනිගේ ආදරය ගැන, සචිනි සමීර වෙන්වෙන්න හේතුව, හැම දෙයක්ම. හවස දෙකට විතර ඔරලෝස් කණුව ගාවදී වෙන් වෙලා මම ගෙදර එන්න ආවේ ඔ‍ලුවේ ලොකු ප්‍රශ්න තොගයක් ඉතුරු කරගෙන. කිසිම දවසක මට තිබුණේ නැති ප්‍රශ්න. ‍

ගෙදර ඇවිල්ලා කරපු එකම දේ කල්පනා කරන එක. සචිනි සමීරගෙන් ඈත් වෙන්න එකම හේතුව "සැකය".  සචිනිට යාලුවෙක් කිව්ව දෙයක් නිසාත් තව හේතු කිහිපයක් නිසාත් සමීරට වෙන ආදරවන්තියෙක් ඉන්නවා කියලා ඇති වුන සැකයක් දුරදිග ගිහින් දෙන්නම වෙන්වෙලා තියෙන්නේ. ඉතින් සමහරවිට සමීරට වෙන කෙනෙක් නැතිව ඇති. දවස්ගානක් ෆෝන්එකත් ඕෆ්කරලා කම්පියුටර් එක දිහාවත් නොබලා කල්පනා කරලා කරලා අන්තිමට ගත්ත තීරණය "සචිනි මට අයිති කෙනෙක් නෙවෙයි... සමීර හම්බවෙලා කතා කරලා බලන්න ඕනේ" කියලා. සචිනි කොයි තරම් අකැමති වුනත් මම සමීර හම්බවෙන්න විදියක් හදා ගත්තා. මම සමීරව හම්බ වුනා, කතා කරා. හිතුවට වැඩිය හොඳ මිනිහෙක්. ඇත්තටම සචිනිගේ ‍හිතේ තිබිලා තියෙන්නේ සැකයක් සමීර ගැන. සමීරත් තරමක් මගේ යාලුවෙක් වුනා ඊට පස්සේ. සමීරත් ගොඩක් දුකින් ඉදලා තියෙන්නේ සචිනිගේ මේ සැකය නිසාත් දෙන්නා වෙන් වුන නිසාත්

ඊට පස්සේ සචිනිගේ හිතත් හදලා කොහොම හරි කරලා දෙන්නට ආයෙත් හම්බවෙන්න අවස්ථාවක් අරන් දුන්නා. එදා සැප්තැම්බර් 24 වෙනිදා. සචිනි ආයෙත් මාමලාගේ ගෙදර ගිහින් නුවර ආව දවස. ඒ වුනාට එදා සචිනි නුවර ආවේ මාව හම්බවෙන්න නෙවෙයි. සමීර හම්බවෙන්න. කඩුගන්නාව පහුකරගෙන කෝච්චිය නුවරට යද්දී මාව මතක් වුනා කියලා මට කෝල් කරද්දී මගේ හිතට දැනුනේ ලොකු දුකක්. අවුරුද්දකට ආසන්න කාලයක් ගතින් නැති වුනත් හිතින් මගේ ලඟම හිටපු සචිනි හෙට ඉදලා වෙන කෙනෙක් ළඟ.. කියාගන්න බැරි තනිකමක් හිතේ හිර වෙලා.... 25 වෙනිදා පාන්දර දෙකට විතර නැගිටලා මං කළ එකම දේ ජීටෝක් එකේ තිබුණු මගෙයි සචිනිගෙයි චැට් chat history එකේ එකින් එක කියවලා ඩිලීට් කරන එක. එදා උදේ නවයට විතර සමීර කෝල් කරලා කිව්වා සචිනිව හම්බ වුනා. දෙන්නා ආයෙත් ෂේප්. පුලුවන් නම් නුවර එන්න කියලා. නුවර යනවා තියා කමරෙන් එළ බහින්න හිතුනේ නෑ. දවස්ගානක් යනකම්ම. ඔහේ හිටියා කාමර් අස්සටම වෙලා.

ඒ හැම දෙයක්ම අමතක කරලා පුලුවන් තරම් හිත හදාගන්න පුලුවන් තරම් උත්සාහ කළා. මූණුපොතෙන් අයින් වුනා. ෆෝන් එක ඕෆ් කරලා දැම්මා. ඊමේල් එකක් බලන්න ජීමේල් ලොග් වුන කාලයක් මතක නෑ. සචිනිට මාව contact කරගන්න පුලුවන් හැම දේකින්ම මම ඈත් වුනා.

මාසයක් දෙකක් ගත වෙලා මගේ හිත තරමකින් හරි හදාගෙන ඉන්නකොට අද... ක්ලාස් ඉවර වෙලා එද්දී තමා ක්වීන්ස් එක ලඟදී සචිනියි සමීරයි හම්බ වුනේ. ඒ දෙන්නා දැක්ක වෙලාවේ උන්හිටි තැන් අමතක වුනා වගේ. හිතේ කොනක හිර කරලා තිබූණ දුකකට තටු ලැබුණා වගේ හිත පුරාම... 

දෙන්නම සතුටින් වගේ. දෙන්නම කියවනවා. මට දෙන්න උත්තරයක් නැතිව දෙන්නා දිහාම බලාගෙන හිටියා. සතුටින්, දුකින්. ඒ කියපු දේවල් මට ඇහුණාද මන්දා. මට යන්නම් කියලා ගියාට පස්සෙත් මම එතනම හිටගෙන. මම අද සතුටු වෙන්නද දුක් වෙන්නද? සමහර විට මම සමීර එක්ක කතා කරලා ඒ දෙන්නට එකතු වෙන්න උදව් කලේ නැත්තං සචිනි අද මගෙත් එක්ක ඉන්න තිබුණා. ඒ වුනාට මං එහෙම නොකර එයාට එයාගේ ආදරේ ලබා දුන්න එක ගැන සතුටුයි. ඒ වගේම මං ආදරේ කළ කෙනා ආයෙත් මට ලැබෙන්නේ නෑ. ඒ ගැන හිතද්දී...........


ප.ලි:- වචන මගෙන් වුනාට මේක අද ඇත්තටම වුන දෙයක්. අද මමත් මගේ යාලුවෙකුයි ක්ලාස් ගිහින් එනකොට ක්වීන්ස් එක ළඟදී සචිනිවයි සමීරවයි අපිට හම්බ වුනේ. ඒ වුනාට ඒ දෙන්නා මම අදුනන්නේ නැති නිසා මගේ යාලුවාට කතා කරන්න දීලා මම පැත්තකට වුනා. සචිනිත් සමීරත් ගියට පස්සේ මූ මන්ඤන් වෙලා වගේ ඉන්නවා දැකලා ඇයි අහපුවාම තමා මේ කතාව අද මට කිව්වේ. කඳුලු පුරවගෙන KCC එක ඇතුලේ වාඩි වෙලා පැයක් විතර කියෙව්වා. මමත් පුලුවන් තරම් උත්සාහ කලා හිත හදන්න. අන්තිමට කිව්වේ "මචං පුලුවන්නම් බ්ලොග් එකේ දාපං. සචිනි කියවනවා උඹේ බ්ලොග් එක. උඹ මගේ යාලුවෙක් කියලා දන්නේ නෑ. ඒ වුනාට දාපං. සචිනි දැනගන්න එක හොඳයි" කියලා. සචිනි දැනගන්න එකේ හො‍දේ නම් මම දන්නේ නෑ. ඒ වුනාට සචිනි ඔයා වෙනුවෙන් කැප වුණු "හොඳම හොඳ යාලුවෙක්" දැන් ඉන්නවා ඔයට. ඒ වගේම කල්ප අයියා දුක් වෙන්න එපා. මට මේ දේ වුනොත් නම් මට උඹ කළා වගේ කරන්න ගොඩක් අමාරු වෙයි... උඹ ආදරය වෙනුවෙන් කළ දේ නම්  උපරිමයි!


මේ නම්ගම් මනඃකල්පිතයි. 

19 ප්‍රතිචාර:

නදී said...

ඔයාගෙ යාලුවා ගෑන දුකයි.
ඒත් එයා කරල තියෙන්නෙ ගොඩක් හොද දෙයක්,වෙන් වෙලා හිටපු දෙන්නෙක් එකතුකරපු එක කොච්චර ලොකු පිනක්ද?.
ඒ පිනෙන්ම එයාට හොද කෙනෙක් ලෑබෙයි.

෴ හසියා ෴ said...
This comment has been removed by the author.
හිස් අහස said...

සැකය, ලෝභකම, ඊර්ෂ්‍යාව ඔන්න අපි දන්න ආදරේ ..

නියම ආදරයක් නම් එතන පරිත්‍යාගය සහ සතුට අනිවා තියනවා . ඔයාගේ යාළුවාට මගේ ආචාරය ..!!

ජයවේවා !!

BLOG ගඩොල් said...

මොනවා වුණත් යාලුවා කරලා තියෙන්නෙ හරි දේ.

Hit Man said...

uba machan e kella ekka yalu unath e kellage hitha ara kolla laga yalu unanao ubata eka passe prashnayak wenawa sure ............

Unknown said...

ube yaluwa elakiri kollek !

පූසා said...

මචං උඹේ යාලුවා කරලා තියන දේ හරි. ඒත් මේ කතාවේ නම් ගම් ඇත්තනම් ඒ කෙල්ල මේ බ්ලොග් එක කියවනවනම් මේක දැකපු ගමන් ඒ කෙල්ල අප්සට් යයි නෙද්? මේ කතාව ලියලා කරගත්තේ වැරද්දක් කියලා හිතෙන තැනට වැඩ සිද්ද කරගන්න නම් එපා මචෝ පස්සේ උඹටත් දුක හිතෙයි.

පුතා said...

උඹේ යාලුවා හරි මචං... හැබැයි ඌ හොඳ දෙයක් කරලා දුක් වෙන එක වැරදියි... කතාවක් තියනවනේ දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු කියලා... උට හිත හදාගන්න කියපන්... සචිනිව අයිති වෙන්ට තියෙන්නේ සමීරටම වෙන්ට ඇති... උට අයිති කෙනා කොහේ හරි ඇති...

සිරකරුවා said...

අන්න යාලුවෝ... සතුටු වියල්ලා ඔය වගේ යාලුවෝ ඉන්න එක ගැන..
අපිට ඕවයේ අනික් පැත්තනේ.. :(

මහිම මදුරංග said...

@පූසා

macham u rahath wela nee ne
uth mamussayek ne eyatath duka denena eka sadaranai ne

C0de BlUe said...

පරිත්‍යාගය කියන්නේ ඇත්ත ආදරයක තියන එක් ලක්ෂණයක් විතරයි , ඔයාගේ යාලුවා පිවිතුරු ආදරය කියන එක හොඳින් අගයපු කෙනෙක් ....

Kavindya said...

ම්.......... මූණු පොතේ තවත් ආදර කතාවක අවසානයක්........

චතුවා said...

නදී අක්කා.. එයාට වෙන කෙනෙක් ලැබෙනවානම් මමත් කැමතී... :)

.....................................................

හසියෝ.. කමෙන්ට් එක මම නම් දැක්කා.. මේ කතාව පොඩ්ඩක් එඩිට් කරලා ගත්තනම් මගේ කතාවම තමා සහෝ.. ස්තූතියි

.....................................................

ඒක නම් ඇත්ත සහෝ.. අපි කෙසේ වෙතත් මම දන්නේ එච්චර තමා. ස්තූතියි ප්‍රතිචාරයට

චතුවා said...

බ්ලොග් ගඩොල් සහෝ.. කරපු දේ නම් හරි තමා. යාලුවත් හිත හදාගත්තාම හරි.. :)

ස්තූතියි..

.....................................................

හිට් මෑන්.. කතාව ඇත්ත තමා බං. ඕක කවදා හරි අවුලක් වෙලා තමා නවතින්නේ. මෙහෙම වුන එක හොදයි කියලා තමා මමත් හිතන්නේ.. ස්තූතියි මචෝ කමෙන්ටුවට

.....................................................

ප්‍රමෝද සහෝ.. එළ කොල්ලෙක් තමා. මටත් ඉතින් ඌ වගේ යාලුවෙක් ලැබුණ නිසා හැපී.. :D

ස්තූතියි ප්‍රතිචාරයට

චතුවා said...

පූසෝ.. කෙල්ලනම් ඕං කියවලා ප්‍රතිචාර දක්වලා තිබුණා. වැඩි අවුලක් නැති සීන් එකක් කීවේ.. කොහොමත් නම් ගම් මනඃකල්පිතයි. ඔයාගේ කමෙන්ටුව දැක්කට පස්සේ තමා ඒක දාන්න මතක් වුනේ.. ස්තූතියි සහෝ..

.....................................................

පුතා කිව්ව කතාව හරි. ඌ හිත හදා‍ගන්න ෆුල් ට්‍රයි. මං නම් ප්‍රාර්ථනා කරන්නේ ඌට ආයෙත් හිත හදා ගන්නකම්වත් සචිනිව දකින්නවත් නොලැබේවා කියලා..

.....................................................

සිරකරු අයියේ.. ඕකේ අනික් පැත්ත කරන යාලුවොත් අපිටත් නැතිවම නෙවෙයි.. හැමෝම ඉතින් මෙහෙම කොරන්නේ නෑනේ නේද? ස්තූතියි ප්‍රතිචාරයට

.....................................................

මහිම.. ඒක ඇත්ත බං. ඌටත් ගොඩක් දුක හිතෙනවා ඇති. මොනවා කරන්නද ඒත්? ස්තූතියි ප්‍රතිචාරයට

.....................................................

හිඟන්නා සහෝගේ කතාව හරි. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට...

.....................................................

සුදු අක්කා. ඔන්න ඔහොමයි වුනේ.. ඔක්කම එකම බෝට්ටුවේ.. හිහ් හී

ස්තූතියි ඔයාටත් අක්කා..

෴ හසියා ෴ said...

සමාවෙන්න මගේ කමෙන්ටුව ඉවත්කිරීමට සිදුවීම ගැන.....එහෙම කරන්න වුනේ මේ අපි එක්කම බ්ලොග් ලියන තවත් කෙනෙක් නිසා...සමාවෙන්න...

ඇත්ත....මේ දවස් ටිකට මාත් ඉ‍ගෙනගත්තා බං ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියලා....ආදරේ පරිත්‍යග කරන එක හරිම අමාරුදෙයක්...තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කලකෙනෙක්ට වුනත් ආදරේ පරිත්‍යාග කරන්න ඇත්තටම අමාරුයි....ඒත් ඒදේ කරන්න වෙනවනම් කරන්නම ඕනි....
හිතට දුකයි තමයි....ඇයට මාත් හැමදාම ආදරෙයි....මට අවැසි ඇයගේ සතුට විතරම විතරමයි....ඒ වෙනුවෙන් ඕනිම දෙයක්....

චතුවා said...

කමෙන්ට් එක අයින් කළ එක අවුලක් නෑ. "ඇයගේ" සතුට වෙනුවෙන් මමත් දැන් මේ දේ කරන්න තීරණය කරලා ඉවරයි. බලාගෙන ගියාම අපි ඔක්කම එකම යායේ..

ස්තූතියි හසියා..

Prabhath said...

ආ..... ඔය දේ මට වුනාන නම් මං මොනා කරයිද කියල තාම කල්පනා කරනවා.... :-/

චතුවා said...

අද හෙට මටත් කරන්න වෙයි.. මං කරන දේ කියන්නම්කෝ... :D

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger