Saturday, December 11, 2010

විකුණුන ඇය..

තරමක් පියකරු බවක් ඇය සතු වුවද දිනෙන් දින එය නැති වී යන්නා සේය.. වයස අවුරුදු තිහ් පහක් හතලිහක් පමණ වූ, දිගටි තරමක් පැහැපත් මුහුණකින්ද සිහින් සිරුරකින් හා යුත් ඈ පිරිමියෙකු දකින විට අගර දගර පායි.. විටෙකදී ඇය දෙස විමසිල්ලෙන් බලන්නා වූ පිරිමියෙකුට සිනාවක් පායි.ඇස්වලින් කතා කරයි... එසේ නැතිනම් ජංගමදුරකතනයක් කනේ තබාගෙන කවුරුන් හෝ සමග කතා කරමින් සීටී.. බොහෝවිට සවස් යාමයේදී දැකිය හැකි ඇයගේ විච්චූරණ, ශරීරය කැපී පෙනෙන ලෙස අදින ඇදුම් ද හැසීරීම් රටාවද දකින්නා වූ විට පිරිමින් තුල බොහෝ විට ඇති වන්නේ රාගී හැගීම්ය... එසේත් නැතිනම් නැවතත් ඇය දෙස නොබැලීමට තරම් අප්‍රසන්න හැගීමක්ය.. ඔව්.. ඇය ලොව පැරණිතම රක්ෂාවේ යෙදෙන්නියකි.. වෛශ්‍යාවකි.. සරලවම කීවොත් ගණිකාවකි...

කුඩා කලදී මා අම්මගේ අතේ එල්ලී නගරය දෙසට යනවි ට මැය නොදකින දිනයක් නැති තරම්ය. ඇය ගැන ඇති වූ දාහක් ප්‍රශ්න අතරින් එකක් අම්මාවෙත ඉදිරිපත් කලේ අනික් ඒවා පසුවට තබාගෙනය..

"අම්මා.. අර ගෑණුකෙනා කවුද? හැමදාම දකිනවානේ..."

ඇය පසු කර මදක් ඉදිරියට ගොස් සිටි මම අම්මාට ඇය පෙන්වමින් ඇසුවෙමි. අම්මාත් හැරී බලා
"ආ.. එයා නරක ගෑණු කෙනෙක්.. බලන්න එපා එයා දිහා.." යැයි පැවසුවාය.


අසන්නට තිබුණු ප්‍රශ්න ඇසීම නතර කිරීමට සිදු විය. නැවත වරක් ඇය දෙස හැරී බලද්දී ඇගේ නෙතටද මා හසුවන්නාත් සමගම මම වහා ඉවත බලා ගත්තෙමි.. මන්ද ඇය "නරක ගැහැණියකි". සිත තුල සදා නොමැකෙන ලෙස සටහන් වූ අම්මාගේ කියමන නිසා මා කවදත් ඇය දෙස බැලුවේ නරක ගැහැණිය යන කෝණයෙන්මය. අම්මාගේ අතින් මිදී යාලුවාගේ කරට අත දාගෙන යන කලදීත් කවුරුන් ඇය දෙස බැලුවද මට ඇය දෙස බැලීමට සිත් නොදේ. මා උසස් පෙල කරන කාලයේදීත් ඇය එතැනමය. අමතර පංති නිමවී ගෙදර ඒමට එන විට දකින අනිවාර්යය දසුනකි ඈ. ඇය මට විශේෂ නොවූවාය. නමුත් ඇය විශේෂ වූයේ මගේ පැරණි මිත්රියෙකු වූ කෝසල කලකට පසුව මට මුණගැසීමෙන් පසුවය.


කෝසල, නග‍රයේ සාමාන්‍ය වෙලද සැලක් හිමි ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයාය. එම නිසා බොහෝ දෙනෙක් ඔහු හදුනයි. "මුඩුක්කුවක්" ලෙස බොහෝ දෙනා හදුන්වන නගරයේ කොටසක ඔහුගේ වෙලදසැලත් නිවසත් විය. නග‍රයේ සිටින්නවුන්ගේ උස්පහත්කම් ඔහුට අදාල නැත. පාර අයිනේ සිගාකමින් සිටින්නියකට "අක්කේ ගිහින් එන්නම්" කියන්න ඔහු සමග කවුරු සිටියත් පසුබට වන්නේ නැත. එමෙන්ම සමාජය පිළිබදව, මිනිසුන් පිළිබදව ඔහුතුල තිබුණේ වෙනස්ම ආකල්පයකි. කවුරු වුවද ඔහුට එකම මට්ටමේය. ඔහුගේ මෙවන් වූ ගතිගුණ නිසාත් ඔහු ආශ්‍රය කල අය අතරේද ඔහු ප්‍රසන්ය පුද්ග‍ලයෙකි. බොහෝ විට පියාගේ මිත්‍ර ව්‍යාපාරික ප්‍රජාව අතර සහ නගරය තුල සිටින දුප්පත්, පාරේ තොටේ වෙහෙස වෙන දුප්පත් මිනිසුන් අතර..


දිනක් ඔහුත් සමග යන විටෙකදී පෙරකී ගැහැණිය මුණ ගැසිනි. කෝසල දුර තියාම දුටු ඇයගේ මුවේ සිනාවක් නැගුණි. මට නාසාම බැරි ප්‍රශ්නයක් ඇති වූයේ ඇගේ ඒ සිනාව නිසාමය..


"අදුරනවාද බං?"
"ඔව් බං.. මගේ හෙන ෆිට් එක.."


කෝසලගේ තරම දන්නා මට එය පුදුමයක් නෙවේ.. ඇය සිනා මුසු මුවින්ම කෝසල සමග කතාවට වැටේ..


"කොහේද මල්ලී යන්නේ?"
"යාලුවෙක් හම්බුනා අක්කේ. පොඩි වැඩකට යනවා."
"මම අද කඩේ පැත්තටත් ගියා.. ඔයා හිටියේ නෑනේ.. මේ දවස්වල වැඩත් නෑනේ.."
"අහ්.. මම ඒ පැත්තේ ගියේ නෑ අද.. මං පස්සේ එන්නම් අක්කේ.. වෙලා ගියා.."
"හරි මල්ලී"


ඇය නැවතත් මගේ දෙසත් බලා සිනාසේ.. "යන්නම්" ඇය සිහින් හඩකින් මටත් පවසා අප පසුකරමින් යයි.. පුදුමයකි... අම්මා සිතූ තරම්වත් මා සිතූ තරම්වත් ඇය පහත් නැත...!


කෙටි වුවත් කතාව අවසන් වන විට "ඇය නරක ගැහැණියකි" යන සිත තුල ගිලා බැසගත් හැගීම මවෙතින් පහව ගොස් ඇති සේය. ඇගේ කතාව සන්සුන්ය. රැකියාවට ගැලපෙන, අපි සිතන තරම් පහත් බස් වහරක් ඇය තුල නැත. ‍අම්මාගෙන් ඇසීමට ඉතිරි වූ ප්‍රශ්න වලට අම්මාටත් වඩා හොදින් පිළිතුරු දිය හැකි එකෙක් මා සමගය.


මා සතු වූ ප්‍රශ්න එකින් එක ඇසුවෙමි.. ඇතැම් පුශ්න වලට පිළිතුරු දීමට අකැමැති වුවද අ‍පගේ මිත්‍රකම නිසා යැයි කියමින් උත්තර දෙන්න කෝසල ඉදිරිපත් විය.. ප්‍රශ්න වැලක් අවසානයේ ලැබූ පිළිතුරු ඇතැම් විට පුදුම සහගතය.. ඇතැම් විට දුකක් අනුකම්පාවක් මුසුය.. ඇගේ කතාව කෙටියෙන් මෙසේය..


ඇගේ මව මෙන්ම පියාගේත් ප්‍රධාන රක්ෂාව වූයේ සිගමනයි. පියා උපතින්ම අන්ධයෙකු වුවත් ඔහු සතු ගායන හැකියාවෙන් කියක් හෝ උපයා ගනී.. මව ප්‍රධාන රැකියාව හැරුණු විට කුලී වැඩ කරන්නියකි. ඔවුන් දෙපලගේ සිව් වැනි දරුවා පෙරකී කාන්තාවයි.. ඇයගේ නම කෝසල මට කීවද දැන් මගේ මතකයේ නැත. ඉංග්‍රීසි ආරයේ නමක් බව මතකයේ ඇති නිසා ඇයට ජේන් යැයි කියමු. කෙසේ වුවත් ඇයට එම නම ලැබී ඇත්තේ ඇගේ වෘතීයට පිවිසි පසුවයි


ආර්ථික අපහසුතාවයන් රැසක් ඇතිව, අඩුම තරමින් ඉන්න හිටින්නවත් නැති පවුලේ පියා පසු කාල‍යකදී දැඩි ලෙඩ මත්වතුර පානයට ඇබ්බැහි වීම නිසා සිදුවන්නේ ඔවුන් සිටි තැනිනුත් පහලට වැටීමටයි. මවට රෝගී තත්වයක් නිසා තව තවත් ආර්ථිකව ඇද වැටුනු ඔවුන්ට ඇති එකම ආදායම් මාර්ගය වූයේ වැඩිමහල් සොයුරෙකු උපයාගත් සුලු මුදලකි. කාලය ගතවෙද්දී මේ වැඩිමහල් සොයුරාගෙන්ම ඇයට මුදල් ටිකක් යහමින් උපයාගත හැකි ව්‍යාපාරයක් ගැන යෝජනාවක් ලැබේ. මේ වන විට වයස අවුරුදු 20ට ආසන්නව සිටි ජේන් තම පියාගේද අනුදැනුම ඇතිව තමාගේම සහෝදරයා හරහා ව්‍යාපාරිකයෙකුට විකිණෙන්නේ කියූ තරම් නොවුවත් ඔවුන්ට දවස් ගානක් මහන්සි වුවත් උපයාගත නොහැකි වූ මුදලකටය.


මුලින්ම ලැබෙන්නා වූ මේ මුදල ඇතැම් විට ඇය ජීවිතේ පලමු වරට අතගෑ මොනර කොල වලිනි. ඉතින් යහමින් මුදල් ලැබුණු මේ නව රැකියාවට අකැමැත්තෙන් හෝ කැමැත්තෙන් ඇය කැමති විය. ලැ‍බෙන මුදලින් තම මවට හැකිතරම් බෙහෙත් කලද මුදලින් වැඩි කොටසක් පියාටත් සහෝදරයාගේ අතටත් යෑම වැලකිය නොහැකි විය. සහෝදරයාට මුදල් නොදුන් දිනකදී ඇයට සිදුවන්නේ හොද හැටි පහරකෑමටය. අවසානයේ ඇගේ මවගේ මිය යෑමෙන් පසුව ගණිකා වෘතීය තම ජීවන වෘතීය බවට පත් කරගනීය.


වැඩිමහල් සහෝදරයාගේ සහායෙන්ම කලක් සිදුකලත් රැකියාව පසු කාලයකදී ඔවුන්ගෙනුත් වෙන්ව තමාට උවමනා පරිදිම රැකියාවේ නියුතුවේ.. බොහේ විට මුදල් යහමින් පැවති උන් අතර හුවමාරු වන වෙළද භාණ්ඩයක් වූ ජේන්ගේ රූපස්වභාවය කාලයත් සමගම ඇතැමි විට රැකියාවේ ස්වභාවයත් අනුවම වියැකී යන්නට විය. රූපයේ මද බව ඇගේ ක්ෂේත්‍රයේ පහල වැටීමට හේතුවකි. ඇයටද සිදු වූයේ ගෙවූ තරමක් සුවපහසු ජීවිතයෙන් නැවතත් පාරට බැසීමටය. තැන තැන ඇවිදිමින් තමාට තාවකාලික හිමිකා‍රයෙක් සොයන්නටය. ලැබෙන ආදායම අඩු වුවද රැකියාවෙන් ඉවත් නොවූවාය. ඒ ඇයට වෙනත් වෘතීයක් කිරීමට හැකියාවක් නොලැබුණ නිසා විය හැක.


ඇය මෙවැනි කතා සියල්ල කෝසල සමග පවසා ඇත්තේ ඇතැම් විට ඔහු සමග පැවති සුහද බව නිසා විය හැක. ඇතැම් විට කොසල තරම් සුහද කෙනෙක් තම ජීවිතයේ නැති නිසාම මේ දේවල් කීමෙන් සිත නිදහස් කරගැනීමට විය හැකිය. එසේත් නැතිනම් ඇතැම් විට වෙනත් අරමුණකිනි විය හැක. කෙසේ වුවද ඔවුන් දෙදෙනාගේ මේ සබදකම් ගණුදෙනු කටයුත්තක් මත ඇති වූවක් නොවන බව මට ස්ථීරය. හේතුව කෝසල ගැහැණුන් පිලිබඳව පිරිමියෙකු තුල පවතිනා හැඟීම් බොහෝ දුරට මඩනා ලද එකෙකු නිසාය.


මෙය ඇසූ පසු ඇය දුටු තැනකදී මම ඇය දෙස නොබලා ඉවත ගිය දවසක් මතකයේ නැත. ඇයද මා කෝසලගේ මිතුරෙකු බැව් දන්නා නිසා මට සිනහවකින් සංග්‍රහ කරයි. කොතරම් ඇය පහත් කර දක්වන පිරිසක් අතරේ වුවද ඇයට "යන්නම්" නොකියා යන්නට සිත් නොවේ.. කෙසේ වුවද දැන් ඇය අතුරුදහන්ය. පෙර ඇය හමුවන තැනකවත් ප්‍රදේශයේ කිසිම තැනකදීවත් ඇය දකින්නට නැත. ඇතැම් විට ඇය වෙනත් ප්‍රදේශයකට ගොස් තිබෙන්නට පුලුවන. ඇතැම් විට පොලීසියේ අත්අඩංගුවට.. නැතිනම් රෝගයක් නිසා.. වෛරයෙන් සිටි තම සහෝදරයාගෙන් කරදරයක් වීමට පුලුවන. එසේත් නැති නම් ජීවිතයෙන් සමුගෙන වෙන්නට පුලුවන.. ඇගේ පියා නම් තවමත් බීමතින් වීදිපුරා කෑ ගසමින් සිටී. අන්ධයෙකු වූ ඔහුට උපකාරයක් කිරිමට කිසිවෙක් නැත..


මෙය ලියන්නට හේතුවක් නොමැත. ලිවීමෙන් ජේට වන දෙයක්ද නැත. ඇය මෙය කියවන්නේ නැති බවත් ස්ථීරය. මගේ සිත තුල ඇය කෙරෙහි අනුකම්පාවක් මිස වෙනත් කිසිම හැඟීමක්ද නැත. එය භූමිකම්පාක් නොවම අනුකම්පාවක් බවද සහතිකය. ජේන්ගේ රැකියාව ලංකාවට අකැපය. නමුත් අකුරක් නොයිගෙන ගත් ඇයට හිගාකෑමත් කුලී වැඩත් හැරුන කොට කල හැක්කේ මෙවැන්නකි. හොදින්ම මුදල් ලැබෙන රැකියාවක් ලෙස ඇය තම ශරීරය විකිණීමට තීරණය කරන්නට ඇත.. කෙසේ වුවත් අවසානයේ ඇය නිසා ගණිකා වෘතීය ගැන මගේ හිතේ ඇති වූ හැඟීම ලියන්නට සිතේ..


ලොව ඇතැම් රටවල නීතියෙන් පවා සම්මත මෙම වෘතීය ලංකාව තුලදී පහත් එමෙන්ම නීතියෙනුත් අවසරයක් නැති වෘතීයක් බවට පත්වන්නට ඇත්තේ බොහෝ දුරට ලංකාවේ සංස්කෘතීමය හේතූන් නිසා විය හැකිය. ලංකාවේ සිටින්නා වූ, කොයි තරම් සුපිරි පංතියකට අයත් වෛශ්‍යාවක් වුව තම රැකියාව කෙරෙහි ආදරයක් ඇති බවක් මම නම් නොසිතමි. ජේන් මෙන්ම ඔවුන්ද වෛශ්‍යාවක් ලෙස ගෙවන දිවියට වෛර කරන්නන් විය යුතුය. ඔවුන් මෙම වෘතීයට ඇතුල් වන්නේ බොහෝ විට ආර්ථික අපහසුතා හා අවට සිටින්නවුන්ගේ බලපෑම් නිසා විය හැකිය. පවුලේ පවතින්නා වූ හේතූන් විය හැකිය. සංස්කෘතීම වශයෙන් ඔවුන් සමාජයේ පහත්ය.. සමාජයට හානිකරය. නමුත් මම එය නොපිළිගනිමි. එය නොපිළිගත්තාට ඔවුන් සාධාරණය.. ගණිකා වෘතීය නීත්‍යානුකූල කලයුතුයැයි කියන්නත තරම් මම හපනෙක් නොවෙමි.. එසේ වුවද වෛශ්‍යාවන් ගැන මා තුල ඇත්තේ අනුකම්පාවකි. එය ජේන් නිසාම මා තුල ඇති වූවක්.


මා සිතනවාට වඩ පුලුල් ලෙස මේ පිළිබඳව ඔබ සිතනවා විය හැක. මේ මා දන්නා තරමය. ඇතැමි විට තව තවත් මේ දේවල් ගැන දැනගන්නා විට මෙම වෘතීය ගැන මගේ ආකල්පය වෙනස් විය හැකිය. මගේ සිත තුල දැනට පවතින අදහස සරළය. ඇතැම් විට ඔබගේ අදහස් මත බිඳී යා හැකිය. මට බණින්නට ගුණදොස් කියන්නට ඔබට හැකිය. වැරද්දක් ඇති නම් පෙන්වා දෙන්න අවසරය..


කෙසේ වුවත්..... ජේන් ජීවත්ව සිටීනම්.. ඔබට යහපත් දිවියකට උරුමකම් ලැබේවා.. මේ ප්‍රාර්ථනය හැර ඔබ වෙනුවෙන් කල හැකි දෙයක් මට නැත..



13 ප්‍රතිචාර:

නදී said...

මම් නම් හිතන්නෙ කිසිම කෙනෙක් මේ රස්සාවට කෑමෑත්තෙන් යමු වෙන්නෙ නෑ.සමාජයෙ වරදින්,පහල ආර්තික මට්ටම,නූගත්කම,අසරණකම,පිරිමින් විසින් රවටනු ලෑබීම්,මේකට මූලික හේතුවෙන්න පුලුවන්.
අනික සාමාජයට මේ නිසා වෙන වියසනය බලන්න.පවුල් ආරවුල්-අසමගිකම්,රෝගපීඩා-ලිංගාශ්‍රිත රෝග,මත්ද්‍රවය,වයාප්තිය වෑඩිවෙනවා.
සංස්කෘතික අතින් ඉහල සභ්‍යත්වයක් තියන රටක මේ රස්සාව නීතිගතකල යුතුයි කියල මම් නම් හිතන්නෙ නෑ.අනිත් රටවල කර පමනින් අනවශ්ය දේවල් ආරෝපනය කර ගතයුතු නෑ.
කොහොම වුනත් අනුකම්පාව ලෑබිය යුතු කෙනෙක්!

dinesh said...

ළමය දැන් ලොකු වෙලා වාගෙ....

කවුරුවත් මේ රස්සාව කැමැත්තෙන් කරන්නෙ නෑ තමයි.ඒත් ඇයි එයාල වෙන ‍රැකියාවක් හොයා නොගන්නෙ??
සමහරවිට ලේසි කාසි නිසා වෙන්න ඇති.

ekayaka said...

ඉතාම අගනා කාලොචිත ලිපියක් ඉදිරිපත් කිරීම ගැන ළමයාට තුති.

@නදී: ඔබගේ මතයෙහි මා දකින අඩුපාඩු කිහිපයක් ඇත.
"සංස්කෘතික අතින් ඉහල සභ්‍යත්වයක් තියන රටක මේ රස්සාව නීතිගතකල යුතුයි කියල මම් නම් හිතන්නෙ නෑ.අනිත් රටවල කර පමනින් අනවශ්ය දේවල් ආරෝපනය කර ගතයුතු නෑ."

ඔබ මෙයින් අදහස් කරන්නෙ කුමක්ද? ඉහල සභ්‍යත්වයක් ඇති ලාංකීය සමාජයේ මෙම වෘත්තිය මෙතෙක් කලක් නොපැවතුනු එකක්ද?
ලොකයේ පැරණිම රැකියාව ලෙස මෙය අදටත් පවතින්නෙ මොවුන් විසින් සමාජයේ අත්‍යාවශ්‍ය එහෙත් වසන් කරනලද එක් පැතිකඩක් නිරූපනය කරන බැවිනි. නීතිගත කිරීම තුලින් අන් රටවල සිදුකරනුයේ මෙම වෘත්තියේ ඇති අනාරක්ෂිත බව නැති කිරීමට පියවර ගැනීමයි.

Prabhath Darshana said...

ගණිකා වෘතිය නේද. කාලෝචිතයි කියන්නත් බෑ... මේක හැම කාලෙටම උචිත නිසා. ළමය ගේ කතාව ඇත්ත. ගණිකා වෘතියේ යෙදෙන ගැහැණු ඒ රස්සාවට පේළඹීම ඉහත විස්තරයේ වගේම බොහෝ විට ඛේදවාචකයක්. අවසානෙට ඉහත කියා ඇති පරිදිම **ලේසි කාසි** නිසා ඒකට පේළඹෙනවා.

මගේ අදහස මෙය ලංකාවේ නීතිගත නොවිය යුත්තක්. එකා යකාට අනුව නීති ගත කිරීමෙන් අනාරක්ෂිත බව අඩුවෙනවා කියන එකනම් පට්ටපල් බොරුවක්. කුමන නීති ගත වීමකින් පසුව වුවත්, ලොකු බෝඩ් ලෑල්ලක් ගැසූ සාප්පුවක් මේ සඳහා විවෘත නොවන්නා සේම දැනට පවතින ආකල්පයේ කිසිදු වෙනසක්ද සිදු නොවන්නේමය.

නීතිගත නොකර මෙහෙම නම් තව නීතියෙනුත් ඉඩ දුන්නොත් තත්වය කොච්චර නරක අතට හැරේවිද???
පිටරටින් ලැබෙන හැමදේම බදාගැනීමෙන් ලංකාවට මෙච්චරකල් සිදුවුන විනාශය කොපමනද....

ඇය අනුකම්පාව ලැබිය යුත්තියකි. ඉහත ගීතයේ පරිදිම ඇය අසරණියකි. නමුත් එපමණකින් සමාජයක් සංස්කෘතියක් බිල්ලට දිය නොහැක.

නිම්ශා said...

අනේ මන්දා ලමයෝ... කියන්න දෙයක් හිතට වත් එන්නේ නැ...අමාරුකම් තිබ්බා කියලා ඔය රැකියාව විතරද තිබ්බේ...හිගා කනවා මිට සැපයි නේ,,, නැ,,නැ මට නම් වචන නැ අද නම්..

``` Outsider``` said...

ලිංගිකත්වය තහනම් විෂයක් ලෙස සැලකීම අපේ සමාජයේ බොහෝ විනාශකාරී දේවලට හේතු වෙලා තියෙනව. තහනම් විෂයක් වීම නිසා එයට අනවශ්‍ය වැදගත්කමක් ලැබිල.
කෙසේ වුවත් එය සාමාන්‍ය ස්වභාවික අවශ්‍යතාවයක් ලෙස කරළියට පැමිණෙන්නේනම් සදාචාරවාදීන්ගේ පරිකල්පනයට එහා ගිය ප්‍රවණතාවයක් ඉස්මතුවෙයි.

ළමයාගේ ලිපිය ඉතාම කාලෝචිතයි.

ළමයා said...

නදී අක්කා.. පිටරට වල කල පලියටම ලංකාවේ නීතිගත කරන්න ඕනි නෑ තමා. හැබැයි හැම දේම හොද පැත්තත් නරක පැත්තත් තියෙනවානේ?

.................................................

දිනේෂ් සහෝ.. ළමයා ලොකු වෙලා වගේ නේ..? හිහ් හිහ්

මේ රස්සාව කරන මිනිස්සු ඉතින් කැමැත්තෙන් කරන්නේ නැත්තං හේතුව ඔය ලේසි කාසි තමා නේද? නැතිනම් රැකියාවට එක්වුනාට පස්සේ තැරැව්කාරයන්ගෙන් බේරෙන්න බැරිකම..

.................................................

බොහෝම ස්තූතියි සහෝදරයා අදහසට. නමුත් නීතිගත කිරීමෙන් වෙන්නේ ගණිකා ව්‍යාපාරයට අනුබලදීමක් වගේ දෙයක් නෙවෙයිද?

ළමයා said...

ඇත්ත ප්‍රභාත් අයියා. ඇය අසරණයි ගොඩක් වෙලාවට. මගෙත් අදහස ලංකාව වගේ රටකටනම් මේ රැකියාව නුසුදුසුයි. ඒ වගේම මේක නීතිගත වුනොත් සමහර විට ගැහැණිය වෙනත් රටවලටත් වඩා වෙළද භාණ්ඩයක් බවට ලංකාවේදී පත්වෙයි. සංස්කෘතියට යටවෙලා ඉන්න පිරිමියා එලියට ඒවිනේද?

.................................................

නිම්ෂා.. දිනේෂ් සහෝ කිව්වත් වගේ ලේසි කාසි තමා..

.................................................

පිටස්තරයාගේ කතාවනම් ඇත්ත. ලිංගිකත්වයත් ලංකාව තුල හැංගෙන්නේ සංස්කෘතිම හේතු නිසාම තමා නේද? මට මතකයි සාමාන්‍යපෙල සෞඛ්‍ය විෂයට මේ ගැන ඉතාමත් පොඩි කොටසක් තියෙනවා. නමුත් ඒ පාඩම කරන්න ගුරුවරු ලැජ්ජයිද මන්දා. අපිටනම් ඉගැන්නුවේ නෑ. සම්පූර්ණයෙන් නැතත් තරමක් දුරට හරි කරලියට එනවානම් ජනතාව දැනුවත් කලානම් බොහෝ ප්‍රශ්න නිරාකරණය වේවි.

kriz said...

ඕක නීතිගත කරන්න ගියොත් එක දෙයක්නම් වෙනව.
A/C කාමරවල ඉන්න අය 5 ගුනයක්, චාර්ජ් කරයි, පාරෙ ඉන්න අය පොලිසියෙ ඉඳි.
මන් නම් ඒ මිනිස්සුන්ට බනින්නෙ නෑ. උන්ගෙන් කාටවත් කරදරයක් නෑනෙ. ඕනෙ අය ඕනෙ දේ කරන් යයි.
අනික ඒක ඒ මිනිස්සුන්ගෙ වරදක් නෙමේ.
They have become as the result of what they have gone through.

ළමයා said...

හ්ම්ම්... ඒකත් ඇත්ත තමා... ස්තූතියි සහෝ අදහසට...

පූසා said...

ඔය රස්සාවට එන හැමෝම වගේ ජේන් ඉන්න තැන හෝ ඊටත් පහළ තැන්වල ඉඳන් කර කියා ගන්න කිසි දෙයක් නැති තැන ඔය රස්සාවට ආව උදවිය. ඒත් ඔවුන් දිහා සමාජයේ බොහෝ පිරිසක් බලන්නනේ වරද කරුවන් විදිහට.

වටින කතාවක් ළමයා මචෝ.....

We are Scientists said...

මම හිතන විදියටනම් යම්කිසි කාන්තාවක් මේ රැකියාවට යොමු උනාට පස්සෙ ඇය මේකෙන් ලැබෙන මුදල නිසා මේක අතාරින්නෙ නැ..
හරියට වැසිකිලි වලේ ඉන්න පනුවා වගේ..අනික ඇයට මෙයින් ගොඩ ඒමටද අවශ්‍ය නැත..ඇයට තේරෙන්නැ තමන්ට හැමදාම මේක කරන්න බැ කියලා..ඒක තෙරුන දවසට ඇය ප්‍රමාදයි..

ලංකාව වගේ රටකට මේක ගැලපෙන්නැ..හේතුව මේක බෞද්ධ රටක්..

අද ලංකාවේ ප්‍රමුඛතම ගනිකා ව්‍යාපරිකයො බවට දේශපලකයො පත් වෙල....සූදූ කලාප ඇති කරපු රටේ ලගඩීම මේකත් නීතිගත් වෙවි...

" ඔබට උපරිම වින්දනයක් සදහා අප වෙත එන්න" මේ විදියෙ බෝඩ් රට පුර තියෙවි එදාට

චතුවා (ළමයා) said...

පූසෝ.. ඒ කතාවනම් ඇත්ත බං. හැමෝම ගණිකාවක්ම දුප්පත්කම නිසාම ආවා කියන්නත් බෑ. හැඟීම් වලට ඉඩදෙන්න එන එවුනුත් ඉන්නවා.. අන්න ඒ වගේ අය ගැන නම් ඉතින් අනුකම්පා කරලා වැඩක් නෑ. ස්තූතියි මචෝ..

.................................................

" ඔබට උපරිම වින්දනයක් සදහා අප වෙත එන්න"

නීතිගත කළදාට මේක අනිවාර්යය අංගයක් වේවි.. අඩනිරුවත් කාන්තාරූපත් සමග.

ස්තූතියි ප්‍රතිචාරයට.

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger