Sunday, December 26, 2010

කොඩිය ( ii )


"අහ්'... උඹ කොහොමද මේ කොඩිය හොරකම් කලේ?"
"කොඩිය? මං කොඩි ගැන මොනවත් දන්නේ නැහැ."
"කොඩි ගැන මොනවත් දන්නේ නැහැ? එහෙනම් උඹ ඔය ඇඳගෙන ඉන්නේ?"
"අහ්......."

හදිසියේම බියටපත් රාමුට කතා කිරීමට පවා අපහසු විට. ඒ සමගම මිනිසුන් ඔහු වටා රොක් වූහ.

"ඕක අපේ සාප්පුවේ කොඩිය වෙන්න ඕනේ. අපි හැම තැනම හෙව්වේ.."
"මුගේ හැටි බලාපල්ලා කොඩියක් ඇඳගෙන. මුගෙන් ඕක උදුරා ගනිල්ලා"
"පොලිස් රාළහාමි‍ කෙනෙකුට කතාකරපල්ලා"
"මූව අල්ලලා හමගහපල්ලා පල් හො‍රා"

පොලිස් නිලධාරියා පැමිණිමටත් පෙරාතුව තරුණයෙක් ඉදිරියට පැන රාමුගේ සිරුර වසා තිබූ කොඩිය ඇද දැමුවේය. දැන් රාමු පිරිස මැද නිරුවතින් සිටී.

රාමුගේ බිරිඳ කෑගැසූ අතර ඔහුගේ දියණිය පියාගේ නිරුවත දෙස බැලිය නොහැකිව ඉවත බලා ගත්තාය. 'හ හා.. හූ හූ හූ' අමනානන්දයට පත් රැස්ව සිටි පිරිස රාමුට උසුළු විසුළු කිරීමටත් ගල් ගැසීමටත් පටන් ගත්හ. ලජ්ජාව නිසා පොළව පලාගෙන යාමට ඇත්නම් මැනවියි රාමුට සිතුණි.

අනෙක් අයට වඩා මානුෂික ගති ගුණ ඇති පුද්ගලයෙක් රාමු දෙසට සිය සළුය විසි කළේය. එම සළුව ඉන වටා දවටා ගත් පසු රාමුට හිස එසවිය හැකි විය. ඔහුගේ ඇස්වල කඳුලු පිරී තිබෙනු දක්නට ලැබිණ. තමා මේ සෙනඟ අතරින් ඉවතට ගෙන සිරභාරයේ තබන්නේ නම් මැනවයි රාමුට සිතුණි.

"කොඩි හොරාව අල්ලගත්තා"

"ඇයි එයා මොකද කළේ?" පෙලිස් භටයා රාමුව ඉවතට ගෙන යන අවස්ථාවේ එතනට පැමිණි තවත් තැනැත්තෙකු එතැන සිටි අයෙකුගෙන් විමසුවේය.

අපරාධ නීතිය පිළිබඳව හසල දැනීමක් ඇතැයි සිතිය හැකි පුද්ගලයෙක් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය.

"එයා එක වරදක් නෙමෙයි. වැරදි තුනක් කරලා!"
"වැරදි තුනක්?? මොනවද ඒ?"
"පළමු වරද හොරකම"
"එතකොට දෙ‍වැනි එක?"
"ජාතික කොඩියට අපහාස කිරීම"
"තුන්වෙනි එක?"
"ප්‍රසිද්ධ ස්ථානයක මහ ජනයා ඉදිරියේ නිරුවත්ව සිටීම. ඒකත් නීතියේ හැටියට බරපතල වරදක්. ඔහේ දන්නවාද?"

පොලිස් නිළධාරියා රාමුව ගෙන යද්දී ගොඩනැගිලි ඉදිරිපස ඔසවා ඇති කොඩි රාමුට සිනාසෙන්නාක් මෙන් සුළඟට ලෙළදුනි.


(කේ.අහමඩ් අබ්බාස් විසින් රචිත ඉන්දියානු කෙටිකතාවකි.)

Saturday, December 25, 2010

කොඩිය ( i )

"ඔබතුමාට දිර්ඝායුෂ වේවා සර්කාර්තුමණි! දේව පිහිට ලැබේවා සර්කාර්තුමණි! කරුණාකර මට මගේ බිරිඳගේ හා දුවගේ කොටසත් ලබා දෙන්න. ‍ඒ දෙදෙනා ඔබතුමා සහ ඔබතුමාගේ දරුවන් වෙනුවෙන් යාච්ඤා කරනවා,සර්කාර්තුමනි..."

"පලයන් බොරු කාරයා. උඹට ගෑණියෙකුයි දුවෙකුයි ඉන්නවානම් ඇයි උන්ට බැරිද ඇවිත් උන්ගේ කොටස අරගෙන යන්න?"

රාමු ඉක්මණින් කලබලයට පත්වෙන පුද්ගලයෙක් විය. ඔහු තමාගේ කොටස වශයෙන් 'පූරි' හතරක් හා 'ලාඩුස්' දෙකක් පමණක් ලබාගෙන නිහඬවම ආපසු යාමට හැරිනි. තම බිරිඳ හා දියණිය නොපැමිණියේ ඔවුනට ඇඳුම් පැළඳුම් නොතිබුණ නිසා බව ඔහු කීවේ නැත. ඔවුන් දෙදෙනාට ඇත්තේ ඇගෙන් අඩක් ආවරණය කරගත හැකි වැරහැලි කීපයක් පමණි. ඔවුන් තිදෙනාටම ඇත්තේ එක දෝතියකි. ඔහු කිසියම් වැඩක් සොයමින් යනවිට එම දෝතිය ඇඳගෙන යයි. මාස ගණනකට පෙර පඩි දිනයකදී ඔහු බිරිදටත් දියණියටත් දෝති මිලදී ගැනීම සඳහා සාප්පු ‍ගානේ ඇවිදී සැයි ඔහුට සිහි විය. දෝතියක් රුපියල් දහයකට මිලදී ගතහැකිනම්? එහෙත් රෙදි කැබැල්ලක් වත් රුපියල් 20කටවත් මිලට ගත නොහැක. ඔහු වීදියේ එක කෙළවරක සිට අනෙක් කෙළවර දක්වා විශාල සාප්පුවල සිට කුඩා කඩ දක්වා ගිය නමුදු ඔහුට ලැබුණ පිළතුර වුයේ 'දෝති නැහැ' යන්නයි. කෙසේ නමුදු එක් සාප්පුවක සිටි වෙළද සේවකයෙකු ඔහුට කාරුණිකව කතා කළේය.

"උඹට දෝතියක් ඕනෑම නම් මට ගෙනත් දෙන්න පුලුවනි. ඒත් ඒකට රුපියල් පනහක් ගෙවන්න ඕනේ"

"රුපියල් පනහක්?" ඔහු උදේ සිට රෑ වනතුරු මුළු මාසයම ගඩොල් ඇද ලබාගෙන ඇත්තේ රුපියල් විසිපහකි. රුපියල් පනහක් සොයන්නේ කෙසේද?

දැන් ඔහු කරමින් සිටි රැකියාව අහිමි වී ඇත. ඔහු කලක්ම ඇමෙරිකන් හමුදා බැරැක්ක ඉදිකිරීමේ කටයුතුවලට උදව්කරුවෙකු ලෙස සහාය වූවේය. එහෙත් එම ඉදිකිරීම් නතරවූ අතර ඇ‍මෙරිකන් භටයන් ආපසු තම මව් රට බලා ගියහ. මේ අතර ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල දැඩි ලෙස පාලනය කෙරෙන නීති රීති පැනවු‍නි. මේ නිසා පෞද්ගලික ඉදි කිරීම් වැඩ නගරය පුරාම නතරවිය. මාස ගණනක්ම රාමුට රැකියාවක් නොලැබිණි. ඔහු රැකියාවක් සොයමින් රස්තියාදු වූ නමුද පලක් නොවීය. පන්ජාබයේ සිට අනාථයන් පැමිණිමට පටන් ගත් දින‍ සිට ජීවිතය වඩා දුෂ්කර විය. දවස් දෙකක්ම ඔහුට ඔහුගේ බිරිඳට හා දියණියට කිසිඳු ආහාරයක් නොලැබුණි. මහ මඟ හිඟා කෑම හැරෙන්නට ඔහුට කළ හැකි වෙනත් කෙනෙක් නොවීය. මෙතෙක් කල් ගඩොල් ඉසිලීමේ රැකියාව කළ රාමුට එම වැදගත් කටයුත්ත අතහැර දමා හිඟමන් ඉල්ලීමට සිදුවී ඇත. ඇත්තෙන්ම පන්ජාබයේ සිට පැමිණි අනාථයන් අතර සිටි 'බාබුවරු' පවා හිඟමන් ඉල්ලූ බැවින් හිඟමනට බැසීම ලැජ්ජාවට කරුණක් නොවීය.

එදින උදෑසනම ඔහු අවදි වූයේ හිඟන්නෙකු ලෙස ඔහුගේ නව රැකියාව ඇරඹීමට අධිෂ්ඨාන කරගෙනයි. ඔහුගෙන් ලජ්ජාව පහවී තිබිණි. එහෙත් භගවන්තුමාගේ කරුණාව ඔහු වෙත යොමු වී තිබිණි. වාපේඩින් සහ මයිඩිනා ඔහුව කැඳවා අලුත් ආරංචියක් ඔහුට දුන්නේය. ජාතික දින‍ය නිමිත්තෙන් ගුල්සිරිලාල් විසින් පූරි සහ ලාඩුස් බෙදන ප්‍රීතිමත් ආරංචිය ඔවුන් ඔ‍හුගේ කන තැබුවේය. එක් අයෙකුට පූරි හතරකුත් ලාඩුස් දෙකකුත් ලැබෙන බව ප්‍රකාශවිය.

දෙ‍දිනක්ම නිරාහාරව සිටි තිදෙනෙකුගෙන් යුත් පවුදකට මෙය සෑහේද? එහෙත් එය ලබා ගත හැක්කේ ඔවුන් පැමිණ ඉදිරිපත් වුවහොත් පමණි. එහෙත් ඔවුන් ලැජ්ජාව වසා ගැනීම සඳහා ඇඳුම් නොඇඳ ‍පැල්පතකිව් ඉවතට එන්නේ කෙසේද? භගවාන් තුමා ඔවුන්ට රෙදි යාර කීපයක් ලබා දුනහොත් පමණි ඔවුන්ට පැල්පතින් ඉවතට ආ හැක්කේ.

ඒ මොහොතේ භගවාන් තුමා කිසිදා නොවූ පරිදි කරුණාව දැක්වූ බව පෙණින. රාමුගේ යාච්ඤාවට එතුමා කන්දී ඇත. 'කොනෝට්' පෙදෙස පහු කරමින් පදික වේදිකාව දිගේ ඉදිරියට ගිය රාමු ඉදිරිපිටට විශාල රෙදි කැබැල්ලක් පතිත විය. සුදු සහ කොල පාට එහි මැද නිල් පැහැති මලක් යොදා ඇති අලංකාර රෙදි කැබැල්ලකි. එම රෙදි කැබැල්ල අහසේ සිට පියාඹමින් රාමුගේ මුහුණ වසාගත්තේය. එම රෙදි කැබැල්ල දෙවියන් විසින් එවන ලද්දකි.


එවැනිම රෙදි කැබලි දහස් ගණනක් නිවාස සහ හෝටල් ඉදිරිපිට එල්ලා තිබෙනු දක්නට ලැබිණි. මෙය භාගවාන්තුමාගේ පරිත්‍යාගයකි. එය ලබා ගැනීමට අකැමති කවුද? ප්‍රදේශය පුරා සෙනඟ පිරී සිටියද ඔවුන් මෙය දුටුවේ නැත. රාමු වහාම ඒ සුදු රෙදි කැබැල්ල ගුලි කරගෙන සිය දෝතිය තුළ සඟවාගත්තේය. දැන් ඔහුගේ බිරිඳටත් දියණියටත් පැමිණ ගුල්සිරිලාල් නිවසින් තමන්ට හිමි පූරි සහ ලාඩුස් කොටස ලබාගත හැකි වනු ඇත.


ඔහු තමා ඇඳ සිටි දෝතය බිරිඳට දී(ඇය කලින් ඇයගේම සාරියකි) ඇගේ සිරුරෙන් අඩක් වැසී තිබූ වැරහැලි දියණියගේ අඩනිරුවත වසාගැනීමට දුන්නේය. ඉන්පසු තමා ලබාගත් රෙදි කැබැල්ල ඉන වටා දවටා ගත්තේය. කාලෙකට පසු ඔහුගේ බිරිඳ සතුටින් සිනාසුනාය.


ප්‍රීතියට පත් ඔවුහු ගුල්සිරිලාල්තුමාගේ මාලිගය වෙත ගියහ. තමන්ට නියමිත පූරි සහ ලාඩුස් කොටස ලබා ගත් ඔවුහු ආපසු හැරුනහ.


නැවත වරක් ‍'කෝනේට්'පෙදෙස පසුකර ඒමට ඔවුන්ට සිදුවිය. ඒ පෙදස පසුකර එනවිට සාප්පු අයිතිකරුවෙක් රාමු වෙත කඩා පැන්නේය.


මතුවට..


(කේ.අහමඩ් අබ්බාස් විසින් රචිත ඉන්දියානු කෙටිකතාවකි.පර...ණ පොතක තිබිලා කියවන්න ලැබුණේ)


Friday, December 24, 2010

නත්තල, අක්කා සහ මම..

කස්ටියට සුබ නත්තලක් කියන්නත් එපැයි නේ.. ඊට කලින් මං ලියන්න හිතුනා මම පහුගිය නත්තල ගත කරපු හැටි ටිකක් ලියන්න.


ඇත්තම කිව්වොත් මේ නත්තල තමා මම ජීවිතේ ගත කරන "මෙලෝ රහක් නැති" නත්තල. ඒකට හේතුව මට මෙදාපාර අපේ මාමගේ ගෙදර යන්න බැරි වුන එක. මගේ මාමා විවාහ වෙලා ඉන්නේ ක්‍රිස්තියානි ආගම අදහන කෙනෙක්ව. ඉතින් මං බො‍හෝ විට නත්තලට යනවා මාමලගේ ගෙදර. කඳාන පැත්තේ ඉන්නේ. ඒ පැත්තේ ඉන්න වැඩි දෙනෙක් ක්‍රිස්තියානි භක්තිකයෝ මගේ හිතේ..


ඔය නත්තලට මම එහේ ගියාම මට වැඩ ගොඩයි ඉතින්. මං ගියාම මුලින්ම කරන්න පටන් ගන්න වැඩේ තමා නත්තල් ගහක් හදන්න පටන්ගන්න එක. පොඩි අක්කත් එක්ක සෙට් වුනාම පට්ට නත්තල් ගහක් හදලා තමා නවතින්නේ.. ඊට පස්සේ ඉතින් අක්කා එක්ක කඩේ දුවන එක. අපේ නැන්දා එක සැරේට කියන්නේ නෑනේ මොනවාද ඕනේ කියලා...


"අනේ පැටියෝ.. කේක් හදන්න බිත්තර ගේන්න බැරි වුනා. අක්කා එක්ක ගිහින් අරන්න එන්නකෝ" ඕං ඉතින් අක්කා එක්ක යනවා. අක්කා එක්ක යන්නේ ඉතින් පාලුවක් නැතිව යන්න පුලුවන්නේ.. ඒකයි.. ඕං ගිහින් ඇවිල්ලා හොඳට ඉඳගෙන කම්පූටරේවත් ඔන් කරද්දී ආයිත් එනවා ලොකු අක්කා.. "මල්ලියා.. අම්මා කතා කරා පොඩ්ඩක්" ඕක කියද්දීම දන්නවා.. තව කඩේ යෑමක් තමා කියලා.. හික් හික්...


ඔය ඔක්කම හැබැයි කිසි දුකක් නැතිව කරනවා. ඔය වැඩ අස්සේම මං අතඅරින්නේ නැති එකම වැඩක් තියෙනවා.. ඔය මාමගේ ගෙදර තියෙන්නේ කඳාන දුම්රියපොළට කිට්ටුව. රේල්පාරටත් ඉතින් ළඟම ළගයි. මොන වැඩේ කොර කොර හිටියත් කෝච්චිය ස්ටේෂන් එකෙන් එන්න හෝන් කරනකොට මං දුවනවා රේල් පාර ළගට.. කෝච්චිය බලන්න නෙවේ.....................රේල් පීල්ලේ කාසියක් තියන්න... ඔය කාසියක් තියන්න දවසක මං නිකමට වගේ දවසක් මැට්ල් ගලක් තියලා බැලුවා.. කෝච්චිය පෙරලුනොත්වත් කියලා මං ටිකක් ඈත් වෙලා බලාගෙන හිටියා. හිහ්.. ඒ ගල ලොවෙත් නෑ.. ඊලඟ කෝච්චියට මැට්ල් ගල් පේලියක්ම තිබ්බා.. ඒ පාරනම් ගල් ටික තියලා මං ගෙදරටම දිව්වා. කෝච්චියේ සද්දේ නැති වුනාට පස්සේ ගිහින් බැලුවා කෝච්චිය රේල්පීලිවත් පැනලද කියලා.. හිහ්.. කොහොම කොහොම හරි ඔය කාසි තැබිල්ල අත ඇරලා ගල්තියන එක නැවතුනේ අපේ මාමගෙන් හොඳට බැණුම් අහලා.. එදා බැන්නේ නැත්තං ෂුවර මං කොස් ගහක්වත් කපලා තියලා බලං ඉන්නවා කෝච්චිය පීලි පනීද කියලා.. හික් හික්..


ඔය ඔක්කම හරි... නත්තල්දාට රෑ පල්ලියට යන වැඩේට තමා මම නම් කැමති නැත්තේ.. කොහොම හරි ගියාට මොකද මං කා‍ර්එකේ දොයි. පොඩි කාලේ එකම එක දවසක් ගියා.. අමාරුවෙන් හිටියා ඉතින්.. දොයි මතා..යි..! ඔක්කම හරි.. ඊළගට එන්නේ පාටි ටයිම්..! අන්න ඉතින් ෆට්ට තමා.. හොඳ ජොලියක් දානවා. ඔය පාටි දැමිල්ලෙන් වැඩියෙන්ම සංතෝස වෙන්නේ මං වෙන්න ඕනේ.. හේතුව නම් රහසක්..


25වෙනිදා හරි 26වෙනිදා හරි හවස් යාමේ ගෝල්ෆේස් යෑමත් අනිවාර්යය අංගයක්. ඒකෙනම් මට ඇති දෙයක් නෑ. ගෝල්ෆේස් ගියාම ගෝල් මතක් වෙන ගතියක් ගිය අවුරුද්දේ නම් තිබ්බා.. ඒක වෙනම කතාවක්. මේ පාර ගියේ නැත්තේ හොඳ වෙලාවට. නැත්තං ගෝල්ෆේස් පැත්තක තියලා මං ෂුවර් ගෝල්ම යනවා.. හික්..


කොහොම වුනත් මෙදාපාරනම් නත්තල සමරන්න තියා පවුලේ හැමෝම වගේ ඉන්නේ ශෝකයෙන්. ඒකට හේතුව අපේ මාමගේ අර මං කලින් කීව ලොකු අක්කා අසනීප වෙලා ඉන්න එක. ශරීරයට විෂබීජයක් ඇතුලත් වෙලා කියලා තමා කියන්නේ. පෙරේදා ආයිත් රෝහල්ගත කරලා. ඉතින් නැන්දත් අක්කා ළඟ.. මේ පාර අපේ නම් නත්තල් සැමරීමක් නෑ.


කොහොම වුනත් පරණ නත්තල් ගැන මතක් කරලා අන්තිමට කියන්න ඕනේ.. 
මගේ අක්කේ.. ඔයාට ඉක්මන් සුව....

ඒත් එක්කම........

හැමෝටම සාමය හා සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා.....!!!

මාතෘකාවක් නැත

සුළඟ නුඹ වගේලු..
සිත් මල වටා එතෙනවාලු..
ඒකනම් හැබෑව.. ඒත්..
හිතේ දහසක් පැතුම් සුනුවිසුනු කළ
චන්ඩමාරුතයක් වුනේ ඒ සුළගම නෙවෙයිද?
වැස්සත් නුඹ වගේලු..
සිත් මලට ඇදවැටෙනවාලු..
ඒකත් හැබෑවයි කියමුකෝ.. ඒත්..
මගේ හිත්මල් යායම ගිලගත්තු
ගංවතුරක් වුනෙත් ඒ වැස්සම නෙවෙයිද?
සිත තනිකරලා, ඒ සිතේ සියුම් තැන් හොය හොයා
රිදෙව්වෙත් නුඹමලු..
ඒකත් හැබෑවම තමා..
ඒකනේ මට තාමත්... තාමත්

නු‍ඹෙන් ඈත් වෙන්න බැරිව ඉන්නවා ඇත්තේ...

Wednesday, December 22, 2010

Why not me..

Escaping nights without you with shadows on the wall
My mind is running wild tryin hard not to fall
You told me that you love me but say I’m just a friend
my heart is broken up into pieces
Cos i know i’ll never free my soul
it’s trapped between true love and being alone
When my eyes are closed the greatest story told
I woke and my dreams are shattered here on the floor

Why oh why tell me why not me
Why oh why we were meant to be
Baby i know i could be all you need
Why oh why oh why

I wanna love you
if you only knew how much i love you
So why not me

The day after tomorrow I’ll still be around
To catch you when you fall and ever let you down
you say that we’re forever our love will never end
I’ve tried to come up but it’s drowning me to know
you’ll never feel my soul
It’s trapped between true love and being alone
when my eyes are closed the greatest story told
i woke and my dreams are shattered here on the floor

Tell me baby why oh why tell me why not me
Why oh why we were meant to be
Baby i know i could be all you need
why oh why oh why

I wanna love you
if you only knew how much i love you
So why not me

You won’t ever know
How far we can go
You won’t ever know
How far we can go (go)

Why oh why tell me why not me
why oh why we were meant to be
Baby I know I could be all you need
Why oh why oh why

Why oh why tell me why not me
Why oh why we were meant to be
Baby I know I could be all you need
Why oh why oh why oh why

I wanna love you
If you only knew how much I love you
so why not me



 Enrique Iglesias - Why Not Me .mp3
Found at bee mp3 search engine


මම කොහේදෝ බ්ලොග් එකක කවුරු හරි කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් දැක්කා අපිට දැනෙන දුක කවදාවත් නැති වෙන්නේ නෑ. ඒ දුක කාලයක් යද්දී අපිත් එක්කම තිබිලා ඒක දැනෙන්නේ නැතිව යනවා කියලා. දුක අපේම කොටසක් වෙනවා කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත. ඒකත් හරියට අපිට අත පය තියෙනවා. ඒක තියෙනවා කියලත් දන්නවා. ඒ වුනාට අතට හරි පයට හරි කටුවක් වත් ඇනුනොත් තමා අපිට අත පය තියෙනවා කියලා දැනෙන්නේ. රිදෙන්නේ. ඒ වගේ තමා මේ දුක කියන දේත්. කාලයක් යද්දී කොහේ හරි හැංගෙනවා. හැබැයි මොකක් හරි දෙයක් නිසා ආයෙත් අපිට වද දෙන්න පටන්ගන්නවා. 

මං දුකින් ඉන්න වුන හේතුවෙන් කොයි තරම් ඈත් වෙලා හිත හදාගන්න දැගලුවත් ඒක බිඳලා දාන සිංදුවක් මේක. සිංදුවේ තියෙන වචන ටික වගේම, මම මේ සිංදුව මුලින්ම ඇහුවෙත් අර මං කියපු දුකින් හිටපු දවස් වලමයි. ඉතින් මේ සිංදුව අහනවා කියන්නේ ආයෙත් මං ඒ දවස් වල හිටපු තත්වෙටම හිතින් වැටෙනවා වගේ.. වගේ නෙවෙයි තමා. ඒ මදිවට අද දැනෙන්නම හිත රිදිලා ඉන්නේ.  

කොයි තරම් හිතා ගත්තත් මේ සිංදුවනම් ආය අහන්නේ නෑ කියලා ඒක තාම කරන්න බැරි වුනා. හාඩ් එකෙන් ඩිලීට් කරලා දානවා අහන්නේ නෑ කියලා. ඒ වුනාට පැයක් දෙකක් යද්දී ආයෙත් ඩවුන්ලෝඩ් කරගන්නවා. පිස්සුවක්...!

Tuesday, December 21, 2010

"ආදරයේ පරිත්‍යාගය"

මං අද සතුට වෙන්නද දුක්වෙන්නද දන්නේ නෑ. ඒ වුනාට දුකයි සතුටයි දෙකම තදේටම දැනෙනවා. හැබැයි දුක පැත්තට බර වැඩී වගේ.. මට අද ගොඩක් සතුටු වෙන්න පුලුවන් මම නිසා වුන හොඳ දෙයක් වෙනුවෙන්. මට අද ඒ තරමටත් වඩා දුක් වෙන්න පුලුවන් ඒ හොඳ දේ නිසා මට අහිමි වුන දෙයක් නිසා. ඒ නිසයි මම කිව්වේ දුක පැත්තට බර වැඩී කියලා..

මට සචිනි හම්බ වුනේ ගිය අවුරුද්දේ.. අග හරියේදී. මං හිතන්නේ නොවැම්බර් මාසේ අගදී විතර. කම්පියුටර් එකටම මම හිර වෙලා හිටපු කාලේ. සයිබ‍රයේ යාලුවෝ වැඩිපුරම මුණගැසෙන තැනදී. මූණුපොතේදී. මූණුපොතේදී හම්බවෙන යාලුවෙක් නිසා මේ තරම් දුක්වෙවී එයා වෙනුවෙන් ජීවිතේ වටිනා දෙයක් නැතිකරගත්ත අය ඉන්නවාද? එහෙම අය මෝඩයෝද? දෙවෙනි ප්‍රශ්නෙට කොහොම වුනත් මම පළවෙනි ප්‍රශ්නෙට හොඳින්ම උත්තරය දන්නවා. එහෙම අය ඉන්නවා. ‍උදාහර‍ණයකුත් ඕනෙ නම් මව ගන්න උදාහරණයට..

සචිනි මට මූණුපොතේදී හම්බ වුනාට එයා මට විශේෂ කෙනෙක් වුනේ නෑ. කාලයක් ගත වෙනකම්. ඒ වුනාට මේ අවුරුද්දේ ජනවාරි මාසෙදී විතර ගොඩක් හොඳ යාලුවෝ වෙන්න පටන්ගත්තා. ඒ එයා හිටිහැටියෙම ඉල්ලපු උදව්වක් නිසා. මට ඒක කරන්න පුලුවන් වුනා. ඒ වගේම අපි දෙන්නා ඒ දේ නිසා ගොඩක් ලං වුනා. කාලයක් යද්දී මට සචිනිව නැතිවම බැරි තරමට. ගොඩක් වෙලාවට මම ෆේස්බුක් ලොග් වෙනකොට සචිනිට රින්ග් කරනවා. එයා ලොග් වෙනවානම් මටත් රින්ග් කරනවා. කාලයක් ගත වුනා. අපි ගොඩාක් ලං වුනා. ඇත්තටම මම එයාට ආදරේ පටන් අරගෙනද කියලා මටම ප්‍රශ්නයක් වුනා. ඔව්.. මං එයාට ආදරේ කලා ගොඩක්.. පිංතූරෙකින් දෙකකින් දැකපු කෙනෙක්ට ආදරේ කරන්න බැරිකමක් නෑනේ. එයාගේ අදහස් වලට, කතා කරන විදියට හැම දේටම මං ආදරේ කළා.. ඒ වුනාට මං මගේ ආදරේ ගැන එයාට කියන්න ගියේ නැත්තේ එකම හේතුවක් නිසා. සමහරවිට මං මගේ ආදරේ ගැන එයාට කිව්වොත් මට එයාගෙ යාලුකමත් නැති වෙයි කියලා බය හිතුණු නිසා. ඒ වුනාට වැඩි කාලයක් යන්න කලින්ම තවත් හේතුවක් ඒකට එකතු වුනා. සචිනි දවසක් මට කියපු දෙයක් නිසා.

සචිනි එක්ක කතා කරද්දී එයා දුකකින් ඉන්නවා කියලා මට දැණුන නිසා මම නිකමට වගේ ඇහුවේ "සචිනි ඔයා මොකක් හරි දුකකින්ද ඉන්නේ?" කියලා. ඒ වුනාට ඒකට ඒ වෙලාවේ හරියට උත්තරයක් නොලැබුණාට ටික වෙලාවකින් කියන්න පටන්ගත්තා. එයාගේ ආදරය ගැන. එයා ආදරය කළ කෙනා ගැන. ගොඩාක් දේවල්.ම‍ගේ හිත රිදෙන්න වුනාට මොකද ඒ බවක් කියන්නේ නැතිව සචින කියන හැම දෙයක්ම අහගෙන හිටියා. පුලුවන් තරම් උත්සාහ කළා සචිනිගේ හිත හදන්න. සමහර විට මං සාර්ථක වෙන්න ඇති. ගොඩ දවසක් යනකම් ආයෙමත් ඒ ආදරය ගැන මගෙත් එක්ක කතා කලේ නෑ. ඒ වගේමයි මගේ ඒකපාර්ශවික ආදරය ගැන සචිනිට දැනගන්න දුන්නෙත් නෑ. ඒත් එක දවසක් මට ලොකු උවමනාවක් ඇති වුනා කලින් ආදරය කළ කෙනාගෙන් සචිනිට වෙන් වෙන්න හේතුව මොකක්ද කියලා. සචිනිගේ හිත රිදෙනවා මං ඒක ඇ‍හුවොත්. ඒත් අහන්නේ නැතිවත් බැරිම තැන මම ඒක ඇහුවා. ‍මේ වෙනකම් කිසිම දවසක හම්බවෙනා නෙහිටපු සචිනි ඒ වෙලාවේ මගෙන් ඇහුවේ අපි හම්බවෙමුද කියලා.

ඒක කියාගන්න බැරි තරම් සතුටු වෙන්න පුලුවන් මොහොතක් වුනත් මම දන්නවා සචිනිට මාව හම්බ වෙන්න ඕනේ එයාගේ හිතේ හිර වෙලා තියෙන දේවල් මගෙත් එක්ක කියලා හිත නිදහස් කරගන්න කියලා. එයාගේ හිත නිදහස් වෙනවා වගේම මගේ හිත රිදෙන දවසක් උදා වෙනවා.. කොහොම වුනත් ඒ දවස් වල සචිනි හිටියේ වත්තල. සචිනිගේ ගෙදර තියෙන්නේ නුවර. ඒ වුනාට ඒ දවස් වල හිටියේ මාමාගේ ගෙදර. කොහොම හරි සචිනි ආයෙත් නුවර ආවේ මාව හම්බවෙන්නමයි. ඇවිල්ලා ගිය අගෝස්තු මාසේ අගදී නුවරදී අපි මුලින්ම හම්බ වුනේ.. එදා සචිනි ගොඩාක් වෙලා කතා කලා. මම වචන පනහක්වත් කතා කරන්න නැතිව ඇති. එයා ගැන, එයාගේ ආදරය ලැබු‍ණු සමීර ගැන, සචිනි ළඟ නැති වුනත් එයා තාමත් ඉස්සර වගේම ආදරේ කරන සචිනිගේ ආදරය ගැන, සචිනි සමීර වෙන්වෙන්න හේතුව, හැම දෙයක්ම. හවස දෙකට විතර ඔරලෝස් කණුව ගාවදී වෙන් වෙලා මම ගෙදර එන්න ආවේ ඔ‍ලුවේ ලොකු ප්‍රශ්න තොගයක් ඉතුරු කරගෙන. කිසිම දවසක මට තිබුණේ නැති ප්‍රශ්න. ‍

ගෙදර ඇවිල්ලා කරපු එකම දේ කල්පනා කරන එක. සචිනි සමීරගෙන් ඈත් වෙන්න එකම හේතුව "සැකය".  සචිනිට යාලුවෙක් කිව්ව දෙයක් නිසාත් තව හේතු කිහිපයක් නිසාත් සමීරට වෙන ආදරවන්තියෙක් ඉන්නවා කියලා ඇති වුන සැකයක් දුරදිග ගිහින් දෙන්නම වෙන්වෙලා තියෙන්නේ. ඉතින් සමහරවිට සමීරට වෙන කෙනෙක් නැතිව ඇති. දවස්ගානක් ෆෝන්එකත් ඕෆ්කරලා කම්පියුටර් එක දිහාවත් නොබලා කල්පනා කරලා කරලා අන්තිමට ගත්ත තීරණය "සචිනි මට අයිති කෙනෙක් නෙවෙයි... සමීර හම්බවෙලා කතා කරලා බලන්න ඕනේ" කියලා. සචිනි කොයි තරම් අකැමති වුනත් මම සමීර හම්බවෙන්න විදියක් හදා ගත්තා. මම සමීරව හම්බ වුනා, කතා කරා. හිතුවට වැඩිය හොඳ මිනිහෙක්. ඇත්තටම සචිනිගේ ‍හිතේ තිබිලා තියෙන්නේ සැකයක් සමීර ගැන. සමීරත් තරමක් මගේ යාලුවෙක් වුනා ඊට පස්සේ. සමීරත් ගොඩක් දුකින් ඉදලා තියෙන්නේ සචිනිගේ මේ සැකය නිසාත් දෙන්නා වෙන් වුන නිසාත්

ඊට පස්සේ සචිනිගේ හිතත් හදලා කොහොම හරි කරලා දෙන්නට ආයෙත් හම්බවෙන්න අවස්ථාවක් අරන් දුන්නා. එදා සැප්තැම්බර් 24 වෙනිදා. සචිනි ආයෙත් මාමලාගේ ගෙදර ගිහින් නුවර ආව දවස. ඒ වුනාට එදා සචිනි නුවර ආවේ මාව හම්බවෙන්න නෙවෙයි. සමීර හම්බවෙන්න. කඩුගන්නාව පහුකරගෙන කෝච්චිය නුවරට යද්දී මාව මතක් වුනා කියලා මට කෝල් කරද්දී මගේ හිතට දැනුනේ ලොකු දුකක්. අවුරුද්දකට ආසන්න කාලයක් ගතින් නැති වුනත් හිතින් මගේ ලඟම හිටපු සචිනි හෙට ඉදලා වෙන කෙනෙක් ළඟ.. කියාගන්න බැරි තනිකමක් හිතේ හිර වෙලා.... 25 වෙනිදා පාන්දර දෙකට විතර නැගිටලා මං කළ එකම දේ ජීටෝක් එකේ තිබුණු මගෙයි සචිනිගෙයි චැට් chat history එකේ එකින් එක කියවලා ඩිලීට් කරන එක. එදා උදේ නවයට විතර සමීර කෝල් කරලා කිව්වා සචිනිව හම්බ වුනා. දෙන්නා ආයෙත් ෂේප්. පුලුවන් නම් නුවර එන්න කියලා. නුවර යනවා තියා කමරෙන් එළ බහින්න හිතුනේ නෑ. දවස්ගානක් යනකම්ම. ඔහේ හිටියා කාමර් අස්සටම වෙලා.

ඒ හැම දෙයක්ම අමතක කරලා පුලුවන් තරම් හිත හදාගන්න පුලුවන් තරම් උත්සාහ කළා. මූණුපොතෙන් අයින් වුනා. ෆෝන් එක ඕෆ් කරලා දැම්මා. ඊමේල් එකක් බලන්න ජීමේල් ලොග් වුන කාලයක් මතක නෑ. සචිනිට මාව contact කරගන්න පුලුවන් හැම දේකින්ම මම ඈත් වුනා.

මාසයක් දෙකක් ගත වෙලා මගේ හිත තරමකින් හරි හදාගෙන ඉන්නකොට අද... ක්ලාස් ඉවර වෙලා එද්දී තමා ක්වීන්ස් එක ලඟදී සචිනියි සමීරයි හම්බ වුනේ. ඒ දෙන්නා දැක්ක වෙලාවේ උන්හිටි තැන් අමතක වුනා වගේ. හිතේ කොනක හිර කරලා තිබූණ දුකකට තටු ලැබුණා වගේ හිත පුරාම... 

දෙන්නම සතුටින් වගේ. දෙන්නම කියවනවා. මට දෙන්න උත්තරයක් නැතිව දෙන්නා දිහාම බලාගෙන හිටියා. සතුටින්, දුකින්. ඒ කියපු දේවල් මට ඇහුණාද මන්දා. මට යන්නම් කියලා ගියාට පස්සෙත් මම එතනම හිටගෙන. මම අද සතුටු වෙන්නද දුක් වෙන්නද? සමහර විට මම සමීර එක්ක කතා කරලා ඒ දෙන්නට එකතු වෙන්න උදව් කලේ නැත්තං සචිනි අද මගෙත් එක්ක ඉන්න තිබුණා. ඒ වුනාට මං එහෙම නොකර එයාට එයාගේ ආදරේ ලබා දුන්න එක ගැන සතුටුයි. ඒ වගේම මං ආදරේ කළ කෙනා ආයෙත් මට ලැබෙන්නේ නෑ. ඒ ගැන හිතද්දී...........


ප.ලි:- වචන මගෙන් වුනාට මේක අද ඇත්තටම වුන දෙයක්. අද මමත් මගේ යාලුවෙකුයි ක්ලාස් ගිහින් එනකොට ක්වීන්ස් එක ළඟදී සචිනිවයි සමීරවයි අපිට හම්බ වුනේ. ඒ වුනාට ඒ දෙන්නා මම අදුනන්නේ නැති නිසා මගේ යාලුවාට කතා කරන්න දීලා මම පැත්තකට වුනා. සචිනිත් සමීරත් ගියට පස්සේ මූ මන්ඤන් වෙලා වගේ ඉන්නවා දැකලා ඇයි අහපුවාම තමා මේ කතාව අද මට කිව්වේ. කඳුලු පුරවගෙන KCC එක ඇතුලේ වාඩි වෙලා පැයක් විතර කියෙව්වා. මමත් පුලුවන් තරම් උත්සාහ කලා හිත හදන්න. අන්තිමට කිව්වේ "මචං පුලුවන්නම් බ්ලොග් එකේ දාපං. සචිනි කියවනවා උඹේ බ්ලොග් එක. උඹ මගේ යාලුවෙක් කියලා දන්නේ නෑ. ඒ වුනාට දාපං. සචිනි දැනගන්න එක හොඳයි" කියලා. සචිනි දැනගන්න එකේ හො‍දේ නම් මම දන්නේ නෑ. ඒ වුනාට සචිනි ඔයා වෙනුවෙන් කැප වුණු "හොඳම හොඳ යාලුවෙක්" දැන් ඉන්නවා ඔයට. ඒ වගේම කල්ප අයියා දුක් වෙන්න එපා. මට මේ දේ වුනොත් නම් මට උඹ කළා වගේ කරන්න ගොඩක් අමාරු වෙයි... උඹ ආදරය වෙනුවෙන් කළ දේ නම්  උපරිමයි!


මේ නම්ගම් මනඃකල්පිතයි. 

Monday, December 20, 2010

ඊයේ පටන් අක්ෂරගත වන අක්ෂර....

ඔන්න ඉතින් අපිත් පටන් ගත්තා ‍අලුත් පොඩි වැඩක්.. අපි කිව්වේ මමයි, නදී අක්කයි,පොඩි මහත්තයා අයියයි, සුදු හංසි අක්කයි, ඔයයි මමයි අයියයි. තව දෙන්නෙක් විතර සෙට් වෙන්නත් නියමිතයි ඕං.. මේකයි වැඩේ... අපි සැට් වෙලා හැදුවා නෙව බ්ලොග් එකක්.. නම දැම්මා "අක්ෂර" කියලා..


ඊයේ තමා වැ‍ඩේ පටාං ගත්තේ.. ඊයේ පටන් ගත්තට මොකද මේ බ්ලොග් එක හදන්න මාර ගේමක් දෙන්න වුනා.. හික්.. අපිට තිබුණ ලොකුම පුරස්සේ බ්ලොග් එකට නමක්! ජාලේ පුරා හෙව්වා.. පොත් පෙරලලා පෙරලලා හෙව්වා.. එක එක අයගෙන් ඇහුවා.. නොකරපු දෙයක් නෑ... මං හිතන්නේ මාසයක් හමාරක් නමක් කල්පනා ක‍ලා.. අන්තිමේට හිටපුගමන් ඩෝං ගාලා ආවා අක්ෂර. ඇහුවා නදී අක්කගෙන් හොඳාද කියලා.. දැම්මා.. හැදුවා.. හිහ් හී


ඕං ඉතින් ඊයේ අක්ෂරගත කරන්න ගත්තු අක්ෂර බ්ලොග් අඩවියට ඇවිල්ලා බලන්නකෝ හැමෝම...... හා.. හා.. තල්ලු කරන්න එපා.. කලබල වෙන්න එපා.. ඔක්කලාටම යන්න පුලුවන්.. මේ පැත්තෙන් එන්ටෝ.... "අක්ෂර" වෙතට....

Sunday, December 19, 2010

රිංගනවා ඇඳ යටට. මං කියනකම් එන්නේ නෑ එළියට....

මේ දවස් ටිකේම රෑට නිදාගන්නවා කිව්වට නිදාගත්තේ පන්දරට.. පාන්දර දෙක,තුන පහුවෙලා. සුපුරුදු පරිදි ඊයෙ රෑත් පාන්දර දෙකට විතර නිදාගන්න යනකොටම කෝල් එකක. වෙන කාගෙන්වත් නෙවෙයි අප්පච්චීගෙන්. ඊයේ රෑ අප්පච්චිගේ යාලුවෙක්ගේ විවාහය වෙනුවෙන් පොඩි පාටි එකක් තිබිලා. ඒක ඉවර වෙලා නැවතිලා ඉන්න තැනට යනගමන්.

"හෙලෝ.. පුතා නිදිද අහ්?"
"නෑ අප්පච්චි දැන් නිදාගන්න යන්නේ."
"ආ.. මං නොදන්නවයැ මගේ පුතාගේ තරම.. මොකද අද කලින්?"

හිහ් හී.. ඕකට උත්තර දෙන්න පුලුවන්යැ.. ඉතින් ඒක ෂේප් කරගෙන කතා කරලා නිදාගන්න ගියාට පස්සේ මතක් වුනේ අප්පච්චි මට පොඩිකාලේ දුන්න දඬුවම් ගැන.. අප්පච්චිගෙන් දඬුවම් නොලැබුණු කෙනෙක් ඉන්නවානම් බොහෝම අඩුයිනේ.. විශේෂයෙන් කොල්ලෙක්ට.. නොලැබුණ අය ඉන්නත් පුලුවන් ඉතින් විවිධ හේතු නිසා. මට අප්පච්චීගෙන් ලැබුණු දඬුවම් වලින් හොඳටම මතක හිටපු දඬුවම් දෙකක් තියෙනවා. ඒ දඬුවම් දෙකම ලැබුණේ ඉතින් මං කළ මහා ලොකු වැරදි වලටත් නෙවෙයි. (මහාලොකු වැරිදි අහුවෙන්න කොරයි යැ.. හික් හික්) ඔන්න එකක්......

අපේ ගම් පලාතේ ඉන්නවා ගිහාන් කියලා අයියා කෙනෙක්. කලුම කලුයි. හෙන උසසයි මහතයි. යකා ඩයල් එකක් තියෙන්නේ. පොරගේ විනෝදාංශය තමා පොඩි ළමයිව බය කරන එක. ඔය බය ඉතින් මම ඇතුලු මගේ අහලපහල ඉන්න අනික් පොඩි පොඩි උන්ටත් තිබ්බා. ඔය කාලේ මට තිබුණු ලොකුම විනෝදාංශ තමා බයිසිකල් පදින එක. BMX බයිසිකලේ සතිය පුරාම ගෙදර වටේ පැද පැද ඉදලා සති අන්තෙට අප්පච්චී ආවාම අප්පච්චී එක්ක යනවා පාර පැත්තට. මං බයිසිකලේ යද්දී ඉතින් අප්පච්චී පයින් එනවා. අර මං කියපු දඬුවම ලැබුණෙත් එහෙම දවසක.

එදා බයිසිකලේ පාරේ පැත්තේ පොඩි රවුමක් දාන්න ගියා අප්පච්චී එක්ක. ගිහින් අපේ ගෙදර පැත්තට එන අතුරු පාරේ තියෙනවා ටිකක් විතර ලොකු කන්දක්. මමත් ඉතින් ෆුල් ඩම දාලා පාගනවා. අප්පච්චිත් ඉතින් පිටිපස්සෙන් පොඩි තල්ලුවකුත් දීගෙන එනවා. කන්නේ මැදහරියට විතර එද්දී උඩ පැත්තේ ඉදලා පල්ලෙහාට ආවා ‍බබෙක් ලැබෙන්න ඉන්න ගැහැණුකෙනෙකුයි තවත් වයසක ගෑණු කෙනෙකුයි. ටිකක් පල්ලෙහට එද්දී අර බබෙක් ලැබෙන්න හිටි කෙනා වැලි තිබුණු තැනක ලිස්සලා පාර මැද වැටුනා. ටිකක් දරුණු වැටිල්ලක්. අනික ඉන්න තත්වෙත් අවුල්නේ. අප්පච්චී මට බයිසිකලෙන් බහින්න කියලා මාව දාලා දිව්වා අර ගෑණු කෙනා වැටිච්ච තැනට. දුවලා එයාව නැගිට්ටවලා එයාව ත්‍රීවීල් එකකටවත් දාලා යවන්න ලෑස්තිය.

මමත් ඔය නිකං ඉන්න එකේ නිකමට වගේ පිටිපස්ස බැලුවා ඒ ඉන්න ගමන්ම. කන්දේ පල්ලෙහා පැත්තේ ඉදන් එන එක්කෙනා යාංතමට දැක්කාම තමා මට දෙයියෝ බුදුන් සිහිවුනේ.. දැන් මට තියෙන්නේ ඉන්නත් බැරි යන්නත් බැරි සීන් එකක්. මොනවා කරන්නද කියලා නැග්ගා බයිසිකලේට. පෑගුවා පෑගිල්ලක්.. ආය ලොවෙත් නෑ.. ලාන්ස් ආම්ස්ට්‍රෝන් පරාදයි! පස්සවත් නොබලා ගිහිල්ලා නවතුනේ ගෙදර. අම්මත් ෆුල් හොල්මං. ගෙදර ගිය ගමන් කලේ ගෙදර ඉස්සරහා දොරයි පස්ස දොරයි වහලා ඉස්සරහා තියෙන ජනේලෙකින් හොරෙන් වගේ පාර දිහා බලාගෙන ඉන්න එක. ඔන්න ටිකක් ඈතින් එනවා මං දැකපු ඒ භයානක පුද්ගලයා.. ටික ටික ළඟට ඇවිල්ලා අපේ ගෙදර පහුකරගෙන පාර දිගේ ගියා... හප්පුච්චියේ... හතර විලි ලැජ්ජාවයි!! මේ ගිහාන් අයියා නෙවෙයිනේ.. ‍පොරගේ මල්ලී..! දෙන්නම ටිකක් එක වගේ. කලින් මම පාරේ ඉදිද්දී යංතං දැක්ක ගමන් මං මාරු වුනානේ.. හික්.. හරි හරි.. අවුලක් නෑ.. නෝන්ඩියක් නෑ කියලා හිත හදාගත්තා. ඇයි ඉතින් වුන සීන් එක කවුරුත් දන්නේ නෑනේ.. මමත් ඉතින් පාඩුවේ ටීවී එක දාගෙන ඉන්නවා. හැබැයි අප්පච්චී තාම නෑ. අම්මත් අහනවා කෝ අප්පච්චී කියලා. ඉතින් මං දන්නවයැ..

පැය භාගෙකට විතර පස්සේ අප්පච්චී ආවා. ආව ගමන්ම අම්මගෙන් ඇහුවා "කෝ පුතා" කියලා. අහපු ස්වරයෙන්ම දැනගත්තා "අදනම් හරි.." කියලා. අපේ අප්පච්චීට තදටම කේන්ති යනවා. ඒ වෙලාවට ළගට නොයන එක ඇඟට සුබදායක නිසා මං ෂේප් එකේ ලොකු අම්මගේ කාමරේට ගියා. මොකද අප්පච්චී ලොකුඅම්මගේ කාමරේට එන්නේ නෑ. මගේ වාසනාව කියන්නේ අප්පච්චී කඩාගෙන බිදගෙන ආවෙ නැතැ ඒ කාමරේට...

"කොහේද ගියේ..?"
"කොහේවත් නෑ.. ගෙදරනේ ආවේ.."
"මං මෙච්චර වෙලා හැම තැනම හොයනවා පාරවල් ගානේ.. මෙහේ එනවා යන්න"

දැන් ඉතින් මට ඇ‍ඩෙන්න ඔන්න මෙන්න. අතින ඇදගෙන ලොකු අම්මගේ ඇඳ ලඟට ඇදගෙන ගිහින් "ඉන්නවකෝ කරන්න....රිංගනවා ඇඳ යටට. මං කියනකම් එන්නේ නෑ එළියට. ආවොත් දන්නවානේ මගේ හැටි?" කියලා ගිහින් අම්මටත් සීන් එක කිව්වා. අම්මත් හිනා වෙනවා විතරයි.. මේ අහිංසක කොලුවාට පිහිටක් වෙන පාටක් නෑ.. හිහ් ඒ වුනාට මොකද......... ඇඳ යට ඉන්න එකනම් මහලොකු වැඩකයැ.... අප්පච්චී දන්නේ නෑනේ මං හිටපුගමන් කවුරු හරි අල්ලන් හැංගිමුත්තං කරද්දී හැංගෙන්නෙත් ඇඳ යට කියලා.. අප්පච්චී හූ..




ඔහොම ඉතින් පැය භාගයක් විතර හිටියා. දැන් නම් ඉතින් ටිකක් අවුල් වැඩේ. නිකං නිදිමතකුත් එනවා වගේ. ඇඳ උඩ මොකද ඇඳ යට මොකද කියලා ඇස්දෙක පියාගන්නකොටම "නැන්දා.. කෝ චූට් අයියා.." හුටා... දැන්නම් බඩුම තමා.. කටහඩෙන් කියන්නම්.. මගේ ආදරණීය ණෑනා.. මං ඇඳ අස්සේ ඉන්නවා දැක්කොත් ඒ ඇති ජීවිත කාලෙටම. ලොකු ණෑනත් ඇවිල්ලා ඒමදිවට.. අම්මගෙන් අහුපු ප්‍රශ්නෙට උත්තර නැති නිසා මේ දෙන්නා දැං ගේ පුරා මාව හොයනවා. මමත් දැන් ඇද යට ඉදන් කා‍මරේ දොර දිහා බලං හිටියා දැන් එයි දැන් එයි කියලා.. හිටපු ගමන් කාමරේට කකුල් හතරක් ආවා.. "මෙහෙත් නෑ...." කියාගෙන කකුල් හතර ගියා. ඕං දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ.. ඒත් එක්කම..

"කෝ පොඩිමාමා මල්ලී??"
"ඇයි දැක්කේ නැද්ද? ආං ඇඳ යට.."

හුටා....! දැන් තමා මට සීන් එක තේරුනේ.. මම ඇඳ යට ඉන්න එක නෙවෙයිනේ මට ලැබුණ දඬුවම.. ඕක මගේ කම්පනාවට එද්දීම කකුල් හයක්ම ආවා කාමරේට.. "පුතා...." මම යාන්තං ඔලුව විතරක් එළියට දාලා බැලුවා... බලනකොටම මේ ණෑනලා දෙන්නා පටන්ගත්තේ නැතෑ කැකිරි පලන්න.. ෂික්.. මගේ ආත්ම ගෞරවය.... අප්පච්චිත් නෝන්ඩි හිනාවක් එහෙම දාලා කතාව පටන් ගත්තා...

"මේ පළවෙනි පාර නෙවෙයි! මතකයිනේ මහියංගනේ ගිහින්..? එදා මං හොඳින් කිව්වා ඇහුවේ නෑනේ.. ආය කියන්නේ නැතිව කොහේවත් යන්නේ නෑ කියලා පොරොන්දු වෙනවාද?"

(මං මහියංගනේ ට්‍රිප් එකක් ගිය වෙලාවකත් මේ වගේ වීර ක්‍රියාවක් කරලා අප්පච්චී පොලීසියේ පැමිණිල්ලකුත් දාලා තිබුණා.. හික් හික්)

"හා.. ආය කරන්නේ නෑ"
"අනිත් එක, අද පාරේ ඉද්දී ආවේ ගිහාන් අයියා නෙවෙයිනේ... මල්ලිනේ. ආය ගිහාන් අයියට බය වෙන්නත් බෑ. අපෝ ලැජ්ජාවේ බෑ. මේ කොල්ලෝ බයේ ඔහොම යද්දී. මට ගිහාන් අයියගේ මල්ලී කිව්වා බය වෙලා වෙන්න ඇති එක පාරමට ගියා කියලා.."

විනාසයි! මට හූ..... අප්පච්චී සීන් එක දන්නවානේ.. දැනගත්තට කමක් නෑ. ප්‍රසිද්ධියේ කියන්න ඕනේ නෑනේ.. මේ ඩබල ඉතින් බීබීසී වගේ කියලා අප්පච්චිත් දන්නවානේ.... මොනවා කරන්නද ඉතින් දැන්....

"හා. මං බලාගන්නම්කෝ"
"මොනවද බලාගන්නේ...? එනවා එළියට"

එළියට එනවත් එක්කම අර ඩබල ආයෙත් හිනා වෙනවා.. හපෝ මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා.. කියලා හිතාගෙන අම්මා දිව්වා.. පුටුවකටත් පයින්ගහගෙනම... අම්මා ලග ඉද්දී අප්පච්චී වැඩියෙනුත් එක්ක සීන් එක කියනවා ණෑනලා ඩබලට. කතාව ඉවර වෙලා දෙන්නා හිනාවෙවී මං ඉන්න පැත්තට එද්දීම.. දිව්වා... ගත්තා බයිසිකලේ.. සිං..... ගාලා මාරු.. හික් හික්

ලොකු එක්කෙනා.. පවුලේ මාධ්‍ය ප්‍රකාශක වගේ නෑදෑයෝ ඔක්කටම කියලා. ඉතින් අද වුනත් කට්ටිය සෙට් වුනාම ඕක තමා ප්‍රධාන මාතෘකාවලින් එකක් වෙන්නේ.. හා...පො......

"ඇයි අනේ ඔයා ගිහාන් අයියගේ මල්ලිට බය වුනේ?" අහයි.. නැත්තං
"ඇයි ඔයා අර ඇඳයට හිටියේ?" අහයි.. තව ප්‍රශ්න ගොඩයි..!

ඒකනම් මොකද.. පොඩි නෑණා තියෙන සහෝදරකම වර්ධනය කරගන්නත් එක්ක සීන් එක එයාගේ යාලුවෝ එක්ක එහෙම කියලා කතාව. ඉතින් දැන් වුනත් පාරෙදි හම්බුණාම..... හිතාගන්නකෝ මම කොයි තරම් සතුටු වෙනවාද කියලා නඟාගේ යෙහෙලියෝ සෙට් එක එහෙම......හෆොයි... පලාගෙන යන්න හිතෙනවා...

මොනවා වුනත්.. මම එදා ඉදලා අද වෙනකම් ගෙදරින් එළියට බහින්නේ නෑ අම්මට කියලා මිසක්. අප්පච්චීට නම් කියන්න යන්නේ නෑ. එතකොට ගෙදරින් එළිබහින්න වෙන්නේ නෝන්ඩියකුත් කාගෙනමනේ..... අනිත් සීන් එක. ගිහාන් අයියගෙන් පලිගැනීමේ චේතනාවෙන් හිටියේ එදා ඉදලාම. මේ ළගඳී මගේ යාලුවෙන්ට කළ වැඩක් නිසා ඔක්කලාම සෙට් වෙලා දුන්නා රිටන් එක.. හික් හික්.. ඒ කරපු දේ කිව්වොත් මට යන්න වෙන්නේ කූරුගණින්න. මොකද ඒ වැඩේට අවශම දේ කොම්පූටරේ යොදාගෙන හැදුවේ මමනේ... හික් හික්

අහ්.. අනික....අර මට ලැබුණ අමතක නොවන දෙවන දඬුවම ගැන නම් කියන්නත් මොකද ව‍ගේ.. ලැජ්ජයි අනේ...

Thursday, December 16, 2010

කෝ මේ ඊ බේ ජීනියස්ලා ටික.....??

වසර අවසාන මහා සේල් වගේ මේ දවස්වල මමත් ‍මේ බ්ලොග් එක ලියනවා හිටු කියලා.. හික් හික්.. ඔන්න මේ පෝස්ට් එකනම් පුංචි පහේ උදව්වක් ඉල්ලගන්නයි කියලා.. ඇත්තම කිව්වොත් පොඩි උපදෙසක් යෝජනවක් අදහසක් ඉල්ල ගන්න..ඔයාලගෙන් ඇරෙන්න වෙන කාගෙන් මේ වගේ දෙකට උදව් ගන්නද මං? .


මෙන්න මේකයි සීන් එක... මට මේ ලගකදී ඉදලා හැදිලා තියෙනවා හරියට මගේ ගාලු පිස්සුව වගේ.... සුව කළ නොහැක වගේ දැනට පේන්න තියෙන රෝග ලක්ෂණ වලට අනුව මේ පිස්සුවත්.. හොද කරන්න තියෙන එකම විදිය තමා Wireless Router එකක් අරගන්න එක කියලා තමා වෛද්‍ය උපදෙස් ලැබුණේ. කෙරුවාව කොරන්න පිස්සුව හැදුනේ ebay එක පැත්තේ shopping පාරක් දාන්න ගියාම. මම නොකීවට ඉතින් කස්ටිය දන්නවානේ... ‍හොඳ හොඳ භාණ්ඩ තියෙනවා ඊ‍ ‍බොක්කේ.. රවුටර් දැක්කාම දැක්කාම Buy it now ක්ලික් කරන්නමයි හිත..මම ඉතින් ඉවසපං ළමයා ඉවසපාං කියාගෙන ඇවිල්ලා මේ ලියන්න පටාන් ගත්තේ..


කොහොමත් අම්මගෙන් සල්ලි ඉල්ල ඉල්ල රට වටේ ඇවිදලා රවුට‍ර් එකක් ගන්නවාට වඩා සම්පත් වෙබ් කාඩ් එකට දැම්ම සල්ලි වලින් ගන්න එක සැපයි.. නැද්ද මං අහන්නේ.. ඔය කස්ටිය දන්නවානේ ඉතින් සමහර වෙලාවට ගෙදරින් මූල්‍ය ආධාර ගන්න ගියාම දාහක් ප්‍රශ්න නේ...


"ගන්නේ කොහෙන්ද?"
"ඔක ගත්තාම මොකද කරන්නේ?"
"ඇයි ඕක ගන්නේ?"
"මොකක්ද ප්‍රයෝජනේ..?"
"තනියම හයි කරගන්න දන්නවාද?"


ඔය ඉතින් කිහිපයක්... තව කොච්චර කියලා ප්‍රශ්නද අපේ අම්මටත්.. ඔයාලාගේ අම්මටත් එහෙමද අනේ?? 

ඉතින් ඕං.. ආයෙත් මාතෘකාවට.. දැන් මෙහෙමයි මගේ ප්‍රශ්න ලිස්ට් එක..

  1. ebay එකෙන් Wireless Router එකක් ගන්න එක අවුලක් නැතිද?
  2. මුතුඇටේට මේ වගේ දේවල් ගෙනෙද්දී තියෙනවාද මොකක් හරි නීතියක් වගේ සීන් එකක්?
  3. අපේ මුතුඇටේට එද්දී ඕකට මක් වෙලා තියෙයිද? අවුලක් වෙයිද?
  4. ඔබතුමන්ලා දන්න හොද Wireless Router වර්ග දෙකතුනකුත් කියන්න..
  5. ගෙනාපු කෙනෙක් ඉන්නවානම් ඉතින් දෙන්නකෝ උපදෙසක් මේ දරුවාට.....

ඕං බලාගෙන බලාගෙන යද්දීමෙන්න මේකට සිත බැදුනා මුලින්ම.. D-Link WBR-2310 RangeBooster WiFi Wireless G Routerඊට පස්සේ මේකත් හොදා කියලා හිතුනා මට.. Wireless Wifi 802.11G Router Pre-installed DD-WRT DDWRT


මේ දෙකෙන් හොද එකක් තියේනම් කියන්නකෝ... 

ඔව් ඔබට පිළිතුරු ලබා දීමට අවශ්‍ය තරම් කාලය ලැ‍බෙනවා.. පිළිතුරු ලබා දීම දැන් අරඹන්න.. 



  • ප.ලි:- අවශ්‍ය තරම් කාලය ලැබෙනවා කිව්වට ඉතින් අද හෙටම රවුටරයක් ගන්න ඕනි... සෝ... හෙල්ප් ප්ලීස්........ :)

අයි ♥ ගෝල්...

පොඩි කාලේ ඉදලාම මට ලොකු උණක් තිබුණා මුහුද අයිනේ තියෙන ගේක ජීවත් වෙන්න.. තිබුණා නෙවෙයි.. තාමත් ඒ පිස්සුව අඩු නැතිව තියෙනවා.. මගේ අප්පච්චී නිවාඩුවකට ගෙදර ආවාම ඉස්සර පොඩි කාලේ අනිවාර්යයයෙන්ම මම අහගන්න වෙන කතාවක් තමා මුහුදු අයිනේ තියෙන ගෙදරක් අරගෙන පදිංචියට යමුද.. කියන එක.. මොන... මුහුද අයිනේ ගෙවල් තියා පස්සේ කාලෙක ඕක මතක් කරද්දී අප්පච්චී හෙමීටම කතාව වෙන පැත්තකට හරවනවා.. නැත්තං ඔය ආසාව නැති කරන්න මොනවා මොනවා හරි කියනවා... අප්පච්චිට හොදම කතාව අහු වුනේ සුනාමිය ආවාට පස්සේ..


"දැක්කනේ.. කොහොමද මුහුද අයිනේ එහෙම හිටියනම්...?" කියලා එදා මගෙන් අප්පච්චී අහපු වෙලාවේ ඇත්තටම මට බයකුත් නොදැනුනාම නෙවෙයි.. ඊට පස්සේ මාසයක් දෙකක් යනකම්ම සුනාමිය ගැන කතා කරද්දී මගේ ආසාව ගැන මටම බය හිතුනා.. ඒ දවස්වල ඉතින් ටිකක් විතර පොඩි එකානේ.... ඒ වුනාට මොකද ටික කාලයක් යද්දී පරණ පිස්සුව පෙර පරිදිමයි..! සාමාන්‍යයෙන් අපේ ගෙදර අය මාසේ අන්තීමට කොහේ හරි ඇවිදින්න යනවා. ‍රට වටේ යනවා ඉතින්.. අප්පච්චී හරි අම්මා හරි කොහේද යන්න ඕනේ කියලා අහපුවාම මම යන්න ඕනේ කියන්නේ කොයි වගේ පලාත් වලටද කියලා හිතා ගන්න පුලුවන්නේ ඉතින්..... කොහෙන් හරි මුහුද තියෙන තැනකට... මගේ ඔය උත්තරේ අහලා අහලාම එපා වෙලාද මන්දා දැන් නම් කවුරුත් අහන්නේ නෑ කොහේද යන්න ඕනේ කියලා...


කොහොම වුනත් මට ඔය මුහුද තියෙන පලාත් වලින් කැමතිම කියලා එක ප්‍රදේශයක් තිබුණේ නෑ මෑතක් වෙනකම්ම.. ඒ වුනාට අර මේනකා ඇතුලු යාලුවෝ එක්ක ගිය ගාලු ගමනට පස්සේ නම් මගේ ආසාම ප්‍රදේශය ගාල්ල.. ගාල්ලේ යන්න තියෙනවා නම් මට ඉතින් ආය මොනවත් ඕනි නෑ..ඉතින් ඒ වුනාට ආයෙම යන්න ලැබුණෙම නෑ කාලෙකට.. කොහොම හරි ඉස්කෝලේ යාලුවෝ සෙට් එකත් එක්ක ආයෙත් ගාල්ලේ යන්න ලැබුණා... මතක විදියට ගිය අවුරුද්දේ මාර්තු මාසේ.. අම්මේ.. එදා තමා මම මගේ ජීවිතේ ගිය මම ආසාම, අමතක කරන්නම බැරි ට්‍රිප් එක.. විනෝද වෙන්න පුලුවන් උපරිමේටම විනෝද වුනා.. ඒ වගේම තව තව ‍දේවල්.. හිහ්.. කොහොම වුනත් එදා ගාල්ලේ ගියාට පස්සේ තමා ගාල්ල ගැන තිබුණ ආසාව ඔක්කටම වඩා වැඩි වුනේ.. ‍


කොහොම වුනත් උසස් පෙළ විභාගේ නිසා කොච්චර යන්න උවමනාව තිබුණත් ගාල්ල පැත්තේ යන්න බැරි වුනා..ඔය පිස්සුව පොඩ්ඩක් අමතක කරලා කොහොම හරි ඉන්නකොට ඔන්න පිස්සුව වැඩි වෙන්න යාලුවෙක් හම්බ වුනා මූණුපොතෙන්... ඒ යාලුවා එක්ක චැට් කරපු මුල්ම දවසේ ඇහුවාම කොහේද ඉන්නේ කියලා.. ඒ යාලුවා කිව්වාම ගාල්ලේ ඉන්නේ කියලා.. අම්මේ..... මට ඇති වුන සතුට............ ඒ යාලුවා හම්බවුනෙත් උසස්පෙල ඉවර වෙලා දවසකට දෙකකට පස්සේ.. ආයිත් ඔන්න පිස්සුව වැඩි වුනා.. යාලුවෝ ටික එකතුකරගෙන ආයෙත් ඒ පැත්තේ යන්න ට්‍රයි කරාට යන්නම බැරි වුනා... ඕං ඉතින් ආයෙත් අදහස අතැරලා දාල හිටියා.. මොනාව කරන්නද ඉතින්.. තනියම යන්නැයි......


කොහොම හරි ඔහොම කල් යනකොට ආයෙත් හම්බ වුනා යාලුවෙක්.. ‍හෆොයි! මෙයත් ගාල්ලේ........ මොන වෙඩින් එකක්ද මන්දා කොහොම හරි ඒ යාලුවා නිසත් වුනේ ආයෙත් පිස්සුව වැඩි වුන එකම තමා.. ඉතින් කොහොම කොහොම හරි යාලුවෝ ටික එකතු කරගෙන ගිය සැප්තැම්බර් 17 වෙනිදා ගල්ලේ යන්න සෙට් වුනා.. කෝච්චියේ යන්න තමා කල්පනාව.. කොහොම හරි වැඩ ඔක්කම සෙට් කරගෙන ටිකක් රෑ වෙද්දී ඔන්න SMS එකක් එනවා එකෙක්ගෙන් "හෙට යන්න බැරි වෙයි වගේ බං. පොඩි වැඩක්" කියලා.. ඉතින් ඌව දාලා යන්නත් බෑ.. මොකද පොර තමා නවාතැන් පහසුකම් සලසන්න හිටියේ ගාල්ලෙදී අපිට.. හරි ඉතින් මොනවා කරන්නද කියලා ගමන දාගත්තා 18 වෙනිදාට.. එදාත් බැරිවුනා.. දාගත්තා 19.. එදත් බැරි වුනා..අන්තිමට 20 වෙනිදාට දාගත්තා... එදාත් බැරි වුනා ඕං.. මම අතඇරලා දැම්මා අදහස.. මුං එක්ක යන එක හරියන්නේ නෑ කියලා හිත හදාගෙන හිටියා..


දවසක් උදේ පන්දරම ගෙදර මිදුලට මෝටසයිකල් ටිකක් එන සද්දයක් ඇහුණා හීනෙන් වගේ.. මගේ කමරේ ජනේලේ ලගට ඇවිල්ලා හෝන් එකක් ගහපුවාම මම හිතුවෙම හීනෙන් වෙන්න ඇති කියලා.. යාංතං ඇස් ඇරලා බලද්දී ජනේලෙන් ලයිට් එලිය වැටෙනවා.. අප්පට සිරි හීනෙන් නෙවෙයිනේ කියලා නැගිටිද්දීම " යකෝ.. නැගිටපාං...." කියලා ඇහුණා.. කටහඬ නම් මගේ ආදරණීය පුංචි අම්මගේ පුතණ්ඩියා.. ජනේලේ ඇරලා බැලුවා..


"මේ මලගෙදරක් වෙලා මාතර යනවා අපි.. තව බයික් එකකුති තියෙනවා වරෙන්කෝ යන්න..." අප්පේ මට ඉතින් තවත් මොනවාද... මේක ඇහිච්ච ගමන් නිදිදෙව්දුව පෑල දොරින් පැනලා ගියේ.. හික් හික්.. කොහොම හරි ගිහින් අම්මව ඇහැරලා කිව්වා ගාල්ලේ යනවයි කියලා.. "පිස්සුද... කොහේ යන්නද? යන්නේ එහෙම නෑ.." හිහ් ඔය කතා අහයිද මං මේ වගේ වෙලාවක.... වෙලාව ගැන නොහිතාම ගත්තා අප්පොච්චට කෝල් එකක්..


"අප්පච්චී.. අර්ජුන අයියලා ගාල්ලේ යනවාලු දැන්.. යන්නද?"
"මොකේද යන්නේ?"
"බයික් වලින්..."
"යන්න දෙන්නම්.. හැබැයි බයික් පැදීම තහනම්.. ‍ලයිසන් නැතිව පොලිසියෙන් ඇල්ලුවෙත් මම නම් බලන්නේ නෑ.."


ආ.... ඔය තියෙන්නේ.... පොලීසියනම් මොනාද... දඩබඩගාලා ලෑස්තිවෙලා ගියා.. අම්මේ... අපේ අයියණ්ඩිගේ අලුත ගෙනා මනමාලි... Yamaha FZ... ගමනේ සතුට ඩබල් වුනා.. "මල්ලී උඹ මෙකේ වරෙන්" කිව්වාම.. දැන් ඉතින් යෑමක් තමා කියලා ගමන් ඇරඹුවා... දැන් ඉතින් ගාල්ලට ටික ටික ලං වෙනකොට මට ඉතින් මොනවාද බයික් එකේ ඇක්සලේටර් එක ටිකක් වැඩියෙන් කැරගෙනවා වගේ... හික්... කොහොම හරි ගාල්ලත් පහු කරගෙනම මාතරට යන ගමන නොනවත්වාම අපේ අයියණ්ඩී ගියේ හිතක් පපුවක් නැති එකෙක් වගේ..ඇයි ‍යකෝ මූ දන්නවානේ මං ආවේ මේ මලගෙදරට යන්න නෙවෙයි කියලා... කොහොම හරි මලගෙදර ගිහින් එනකොටවත් මේකා පොඩ්ඩක් ගාල්ලේ රවුමක් දාලා යයි කියලා හිතාගෙන ආවා.. ම්හු.. එහෙම අදහසක් නෑ ව‍ගේ.. කොහොම හරි ගාල්ල හරියේ ක‍ඩේක නවත්තලා කාලා බීලා "මල්ලී යමු නේද? ඉක්මනට යන්නත් ඕනි... ඔයාට මුකුත් වැඩක් එහෙම තියෙනවාද? එහෙම නම් ඔයා ඉදලා එන්න.. අපි යන්නම්..." අනේ මගේ සුරතින් අයියගේ මූණ සමතලා වුනේ නැති එක ලොකුදෙයක් ඒ වෙලාවේ ආව තරහට.... "යමු යමු.. උඹත් එක්ක මොන වැඩද? අපරාදේ ආවේ" ඇතුලු තව වචන යොදාගෙන අයියට කතා කරලා ගෙදර ආවා...


පස්සේ තමා දැනුනේ මම ගෙදර ආවාට මොකද මගේ හිත ගාල්ලේ නැවතිලා කියලා.. හිහ් හිහ්... ආයෙත් ඊට ටික දවසකට පස්සේ ගාලු යන්න ලෑස්ති වුනාට යන්න බැරි වුනා.. කොහොම හරි ලබන සතියේ ඉදලා මට තියෙනවා සති දෙකතුනක නිවාඩුවක්.. ඉතින් ඔන්න පෙර පරිදි ගමන ලෑස්ති කරලා තියෙන්නේ.. දැන් ඉදලාම කියලා තියෙන්නේ මේ පාර ගාල්ලේ යන්න එන්නේ නැති අයට අපේ සෙට් එකෙන් එලි බහින්න වෙයි කියලා....


ඒ මදිවට අද උදේ NIBM එකේ මගේ යාලුවෝ සෙට් එකත් නිවාඩුවේ ට්‍රිප් එකක් යන්න කතාව.. ඇහුවා මගෙනුත් කොහේද යන්න කැමති කියලා.. ආය මොනාද ඉතින්... මම ගාල්ල කියලා කිව්වේ නම් නෑ... මට කියවුනා... ඒ වුනාට ඡන්ද මදිවුනා ගාල්ලේ යන්න.. අල්ලසක් හරි දීලා කට්ටිය කැමති කරගන්න ඕනි...

අහ්.. තව පොඩ්ඩෙන් අමතක වෙනවා.... මූණුපොතේ යාලුවෝ දෙන්නෙකුත් ඕං කිව්වා.. ගාල්ලේ යමුය කිලා... හික් හික්... ඔය තුන්පාරම යන්න පුලුවන් වුනානම්...............................


ගාල්ල කියද්දී මට ඉතින් මූණුපොතේ ඉන්නවා ගාලුපැත්තේ යාලුවෝ ගොඩාක්.. ඔය රත්ගමයා, පලාමල්ල ලියන පිස්සා වගේ මගේ යාලුවෝ ගැන මට වෙලාවකට නිකං ඊරිසියයි වගේ.. අර රත්ගමයාගේ ගෙදරනම් මුහුද ලගමලු.... :( අපිට කොහේද ඉතින්... ගෙදර ලගින් මහවැලි ගඟනම් තියෙනවා... දැකපු දවසේ ඉදලා බලන්නවත් ආසා නෑ වෙලාවකට.... රත්ගමයෝ.. නුවර අපේ ගෙදර දෙන්නම් උඹට... අපිට දියන්කෝ උඹගේ ගෙදර.. සුහද මාරුවක් දාමු..... ප්ලීස්... හික් හික්



කොහොම හරි..... ගාල්ලේ කට්ටිය ඒනම් ඉදිරියේදී දැනුම් දුන්නාම මාව පිළිගන්න ලෑස්ති වෙන්න.. නෑ නෑ...උත්සව ඕනේ නෑ...... මොකද මට ගාල්ලට ආවාම උත්සව වෙනුවෙන් කාලය වෙන්කරන්න බෑ...



Wednesday, December 15, 2010

මුතු ඇටයේ සිට ලියමි ii

මුතුමෙරිකා කසදේ දික් කල සීන් එක කියෙව්වා නේ?? අහ් නැද්ද? ඇයි බං ඊයේ පෙරේදා ආවේ නැද්ද මේ පැත්තේ... හා.. හා.. මෙතනින් බලලා අයෙත් එන්න ඕනි හරිය....

ඔන්න ඉතින් ඔය සීන් ටික වුනාට පස්සේ කස්ටියම ගමන් අරඹනවා නැවතත් මුතුඇටේ කරා.. ඔබා මාමට කලකිරිලා තියෙන තරම කියන්නේ අර බස්ගාස්තු විදිහට ගන්නවයි කිව්ව රුපියල් 10වත් ගත්තේ නෑ. ඔන්න ඉතින් මුතුවන්තොටුපොල ලඟ කවුන්ටර් පෝලිමක් එහෙම දාලා ඇමරිකාවෙන් එන අය එහෙදී කරපු රස්සා වල වගේ ඒවගේ තොරතුරු ගන්න පටන් ගත්ත..

ඔය මහත්තයාගේ නම කියන්න..
සක්විති බණ්ඩාර..
රස්සාව..?
මං බැංකුවක් තමා එහෙදී කලේ..

අප්පේ... කොහොමද මුතු ඇටස්ලගේ තරම?? මුතුඇටෙන් ගිහින් එහේ බැංකුවක් දාලා! දියුණු වෙන ජනතාව නෙව...

තව පොරක් ඕං එනවලු..

මහත්තයාගේ නම?
උදුපියලිය මල්වත්ත..
මහත්මයා අමෙරිකා වලදී කල රක්ෂාව?
මම එහෙදී කලේ පිකටින්නේ..
මොකක් සම්බන්ධවද?
ප්‍රයිවට් කැම්පස් වහන්නය කියලා.. ෂා මරු අහ්.. පට්ට ජොබ..!
අහ්.. එහෙනම් කරුණාකරලා මහත්මයා මේ ෆෝම් එක පුරවලා දෙන්න..
මේ මොකක්ද නෝනේ?
අපිට බී. එස් මහත්තයා කියලා තියෙනවා ඔය සබ්ජෙක්ට් එක ගැන පිකටින් කල අයව රුසියාවට පිටුවහල් කරන්න කියලා.. මොකද.... රුසියාවෙත් එහෙම තමාලු...

ඔය වගේ ශ්‍රේෂ්ඨයෝ පිරිසක් දැන් ඇවිල්ලා තොරතුරු දීලා මුතුඇටේ සුපුරුදු පරිදි වැඩ පටාං ගන්නවාලු.. හෝව් හෝව්!! සුපුරුදු පරි‍දි නෙවේ.. කස්ටිය උපයපු සල්ලි... ඇමෙරිකාවේදී.. හැමෝම දැන් දියුණුයිලු.. ඇයි.... ඇමෙරිකාවෙන් උස්සපු බඩු... මෙහේ ඇවිල්ලා සෝ.... ගාලා දානවාලු වෙන්දේසි.. සල්ලිත් තියෙන එකේ කස්ටියක් නස්පුක් වෙන්න ගහලා පැත්තක බුදිලු.. තව කට්ටියක් කැලේ අස්සේ පැදුරක් දාගෙන ගහනවාලු බූරු.. තව ටික දෙනෙකේ විතර වැඩලු ගොඩ යන්න.... සමහර අය ආයෙත් ෆුල් ට්‍රයිලු ඇමරිකාවට පනින්න...

ඕවා අස්සේ ඇමරිකාවේ රජයේ විශේෂ නිවාඩු දින 7ක් ලබා දීලලු.. මේ දවස් හතේ ඇමරිකාවේ අය හරි හරියට වැඩලු.. වෙන එකක් තියා.. ඔබාම මාමත් ෂෝටක් ගහලා පාරේ වැඩලු.. ඇයි දෙයියනේ.. මුතුඇටස්ලා හරි ශීලාචාර මිනිස්සු නෙව.. ඉතින් පාරවල් බෝක්කු කැලෑ ඔය ඔක්කම මුලක ඉදලා ක්ලීන් කරන්න වෙනවානේ.. නෑ නෑ මුතුඇටස්ලා කුණු දාලා නෙවෙයි..ඇතුමුටුස්ලා කුණු දාලා.... අමෙරිකන්ස්ලටත් ඉතින් කවදා කාපු ටකරං ද කියලා සුද්ද කරනවා පණ දාගෙන.... ඔය සීන් අස්සේ එහේ ආර්ථිකය ඩවුන්ලු... සොරි.කොම්!

ඒ අස්සේ අර එහෙන් උස්සන් ආව සල්ලි ‍වලින් මුතුඇටේ මාර දියුණු වෙනවා.. ඔව්ව්ව්.. බලා ඉද්දි දියුණු වෙනවා.. කොටින්ම කියනවානම් ලෝකයේ සංවර්ධික කාර්මික රටවලින් පලවෙනි තැන මුතුඇටේට හිමිවෙනවා...! ආරංචි විදියට ඊයේ රුපියල් 1000000000000.51කක ආධාර විදියට දුන්නා ජපානෙට.. ‍කොහොම කොහොම හරි දැන් මුතුඇටේ පුරාම කර්මාන්තශාලායි... කාර්ද බස්ද ප්ලේන්ද අරවද මේවද දඩබඩ ගාලා හදන්නේ.. වෙන එකක් තියා සමහරු මේ ගෙදර පොඩි වැඩපොලක් දාගෙන හදනවා ගුවන්යානා වලට අමතර කොටස්.. ඒවා දාලා යන ඒවා උඩ යන්නේ නෑලු.. ඒක වෙනම කතාවක්.. ඒක ඉතින් අදාල නෑනේ.. කොහොම හරි වැඩ ගොඩා.....යි......

කොහොම කොහොම හරි දැන් මුතු ඇටේ ඇතුලේ තවත් කර්මාණ්ත කරන්න ඉඩත් නෑ... මලකෙලියයි! දැන් මක්කෙයි කරන්නේ කිය කියා ඉන්නකොට අපේ ලොක්කට එනවා මාරම මාර අයිඩියා එකක්..!

"මචං අපි දෙමු ගේම ඉන්දියාවට.....අල්ලගමු ඉන්දියාව.. දාමු කර්මාණ්තශාලා එහේ.... මම පුතාට දාලා දෙනවයි කිව්ව ෆෙරාරි ‍ෆැක්ට්‍රි එකත් ගේමු එහේට....."

මෙහෙම කියලා හොද ප්ලෑනක් එහෙම ගහලා යනවා ඉන්දියාට ආක්‍රමණය කරන්න.. කර්මාන්ත ශාලා දාන්න ඉඩ ගන්න.. ආදම්ගේ පාලමෙන් තමා යන්නේ.. ගිහින් බර අවි වලින් දෙනවා දීමනාවක් ඉන්දියවට...හරියට සන්ලයිට් කැටයක් ගද්දී තව දෙකක් නොමිලේ දෙනවා වගේ.. එහෙන් එක වෙඩිල්ලක් තියද්දී මෙහෙන් ‍හැත්තෑවක් විතර වෙඩි..! ඇප නැති වෙන්න... ඉන්දියාවේ හමුදාවේ කස්ටිය දුවනවා ‍කොහොමද.... ආය ඉතින්.. යුසියන් බෝල්ට් කැලේ....! කොහොම හරි ඉන්දියව යටත් කරගෙන ඉන්දියාව රීනේම් කරනවා.. මුතුඇට පාර්ට් 2 කියලා..

"ඉරු නොබසින මුතුඇටයේ ආරම්භය"

ඕං ඉතින් එංගලන්තේ කස්ටියටම දැන් මාර බයලු.. එයාලත් ඔය මුතුඇටේට ට්‍රයි කලානේ අතීතේ..... කොහොම හරි ඊලග දවසේ ඉදලා ඉතින් ලෝකෙම කතාව ලංකාව ගැන තමා..! ඉන්දියාවට දුන්න දීමනාව දැකලා බය වුන පාර පකිස්ථානේ ලොක්කා අපේ ලොක්කට කෝල් කරලා කියනවා...

"අනේ අපිටනම් ගහන්න එපා.. කියන වෙලාවක යටත් වෙන්නම්.."
"හොහ් හොහ්.. මල්ලී.. අපි ලගදීම ඔය පැත්තේ එනවා.. සාමෙන් නම් සාමෙන් අපිත්.."

ඔය සීන් අස්සේ මුතුඇට පාර්ට් 2 එකෙත් දානවා නිශ්පාදනාගාර මොනවද කියන්නේ...විශේෂයෙන් පරිගණක ආශ්‍රිත නිශ්පාදන තමා.. මොකද ඉන්ටෙල් මයික්‍රොෂොෆ්ට් වගේ ඒවත් මුතුඇටේට අයිති වෙනවානේ..... තව ඉතින් ටොයෝටා.. බෙන්ස්.. ෆෝර්ඩ්. බී ඒම් ඩබ්ලියු.. ‍වගේ වාහන නිශ්පාදනයත් මුතුඇටේට හිමි වෙනවානේ.. මොනවා නැතත් අර ඉන්දියාවේ තිබ්බ මං අර කලින් කිව්ව "විකුණුන ඇය" වගේ අය ඉන්න ප්‍රාන්තෙට නම් අත තියන්නේ නෑලු.... ඇයි ඉතින් මුතුඇටේ ලොකු සාදුලා ඒ බිස්නස් එකට කැමති නෑනෙව... කොහොම හරි වැඩේ ජයටම යනවා..!

මරුම සීන් එක කියන්නේ... ලෝකයේ සම්මත මුදල් ඒකකය LKR වෙනවා.. බැංකුවක දාලා තියෙනවා
LKR 1 → USD 112 කියාල... හික් හික්
‍ඇමෙරිකාවට ප්ලග් වෙලා තිබ්බ ලෝක ආර්ථික ප්ලග් එක්කම මුතුඇටේට ඇමිණෙනවා... බලන්න එපැයි වැඩ... හෙට ඔබා අංකල් දෙදින නිල සංචාරෙකට එනවයි කියන්නේ මේ පැත්තේ... ඔය එන්නේ නම් ලෝන් පාරක් දාගන්න තමා...

දැන් ඉතින් ලොකෙම රන්‍ වෙන්නේ මුතුඇටේට ඕනේ විදියට තමා... මට පේන විදියට.. අමෙරිකාවත් මුතු ඇටේට අයිති වෙයි වගේ.. දැන් ඉතින් මුතුඇටෙන් අම්බානක ණය අරන්නේ ඇ‍මරිකාවේ අය....

යන විදියට ‍මයෙ හිතේ අඟහරු ලොකෙත් සල්ලි දීල ගන්න පුලුවන් වෙයි.. මුතුඇටේට.. ලෑස්ත් වුනා නම් ඔය ඇත්තොත් ඒ පැත්තේ වන්දනාවක ගිහින් එන්න අද හෙටම..

Monday, December 13, 2010

මුතු ඇටයේ සිට ලියමි i

ඉන්දියන් සාගරයේ මුතු ඇටය කියාල කීවේ කොහේටද? ඒක නම් මාරයිලු අනේ.. මාර වැඩ වෙනවලු... ඔය ඉස්සර කාලේ හරි හරි පොරවල්ලා ගිහින් ෆුල් ට්‍රයි කරලා තියෙනවා ඔය මුතු ඇටේට ගේම දෙන්න.. මොන... එව්වා හ‍‍දේලු මල්ලී.. මේ ලගදිත් පොරක් ට්‍රයි කරලා මුතුඇටේ බටු ඇටේ කරන්න. පොරටත් සොරිම තමා. ඔය මුතු ඇටේටම තමා මයේ හිතේ පෙරදිග ධාන්‍යාගාරය කිව්වේ.. ආ.. මේ ලගදී ඉදලා ආසියාවේ ආශ්චර්යය කියන්නෙත් ඔය මුතු ඇටේටම තමා. ඒ කතා පස්සට...

හරි පුදුම වැඩේ කියන්නේ හරිද.. මේ මුතු ඇටේ ඇතුලේ ඉන්නවානේ බොලේ මිනිස්සු...! මාර පොරවල්ලලු.. ෂිහ්! වෙන දෙයක් තියා ඒ මිනිස්සු ගැන සිංදු පවා ලියවිලා තියෙනවාලුනේ දෙයියනේ! ආ බොරු කියලද හිතන්නේ? මේක අහලා බලන්නකෝ බොරුනම්.. මාව විස්වාස නෑනේ ඉතින් උඹලට..









ආ.. දැක්කනේ... මං බොරුද කීවේ අහ්? අර ළමයෙක් ගැන කිව්වේ මං ගැන නෙවෙයි ඕං..


ඉතින් මං මේ තකහනියෙම මේ මුතු ඇටේ ගැන ලියන්න ගත්තේ මට මේ විශ්වාස ආරංචි මාර්ගයකින් ඊයේ පෙරේදා දැනගන්න ලැබුණා ඇමරිකාවේ ඔබාමා අන්කලුත් පොඩි ට්‍රයි එකක් දාන්නලු යන්නේ ඔය මුතු ඇටේ අයිති කරගන්න. හෙහ් හෙහ්.. සිරාවට ආය.. මං බොරු කියනවා කියලා හිතෙනවාද?? ඇත්තමයි.. මං ඉතින් ඊයේ හීනෙන් දැක්ක එකනේ...


මිස්ටර් ඔබා මාර පොර හරිද.. පොර ටෝක් දීලා දීලා අන්දනවා ඇන්දිල්ලක් කෝමද අර මුතු ඇටේ ඉන්න මිනිස්සුන්ව ආය... ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ.. අන්තිමට ගහ ලොවෙත් නෑ ඕං.. අර මිනිස්සු ටික ඇඳ ගන්නවා නිකං කෝමද.. ආය කියලා වැඩක් නෑ හරිද.. කොහොම කොහොම හරි ඔබාම අන්කල් කතාවෙන්ම තමා මුතු ඇටේ හැඩ්ල් කරන්නේ.. මොකද ලොකු සීන් දාලා තුවක්කුවක් පෙන්නුවොත් සොරි.කොම් කිලා දන්නවානේ.. ඇමරිකාවටත් ගහපු ලාඩං එයාගේ මිනිස්සුන්ට කියලාලු තියෙන්නේ මුතු ඇටේ තියෙන ටැප් එකකටවත් අත තියන්න එපා කියලා.. ඉතින් ආය ඔබාම අන්කල් බය වෙන එක පුදුමයක් ද මං අහන්නේ?? කොහොම හරි ඔබාමා අන්කල් ගේ වදන් හමුවේ මුතු ඇටේ ලොක්කගේ ඉදලා සොක්කට යනකම්ම අය කැමති වෙනවා ඇමරිකාවට මුතු ඇටේ සරණපාවලා දෙන්න. අකැමැති වුන අයත් නැතිව නෙවේ.. හිත ඇතුලින් කැමති වුනාට.. ඔබා මාමාට අන්තිමට වැරදිලා වගේ කිය වෙනවා "බස් ගාස්තු වශයෙන් රුපියල් 10 ටිකට් එකක් අරන් ඕනම කෙනෙක්ට ඇමරිකාවට එන්න පුලුවන්.. මොකද අපි බැන්දට පස්සේ එක පවුලේ උදවියනේ" කියලා..


ඔන්න ඉතින් ඒ මංගල්ලෙත් වෙනවා.. ඔන්න මංගල්ලෙට පහුවෙනිදා තමයි මාර දවස... මුතු ඇටේට ඉර උදා වුනාට පස්සේ පාරකවත් කොහේවත් මිනිහෙක් දකින්නවත් නෑ. මාර සීන් එක තමා අප්පා.. හිටපු ගමන් පාරේ බල්ලෙක් දුවනවා හරිද.. වෙන දවසක එහෙමනම් බල්ලා පාරේ දිව්වනම් ඌට රියසක් දෙවිදුගේම සරණ තමානේ.. ඇයි අප්පා මුදුඇටේ ඉන්නේ තනිකර ස්ට්‍රීට් රේසර්ස්ලානේ.... කොහොම හරි මේ මුතුඇටේ උන්ට මොකද වුනේ....?


අප්පට සිරි! සීන් එක දැන්නේ තේරෙන්නේ.. ඔයාලට තේරුනේ නැද්ද? ඇයි බං... උඹලා වගේ නෙවේ උන්... කට්ටියට ගිහින් නෑදෑයෝ බලන්න..











යාහ්.. යාහ්.. අයියෝ හිතා ගන්න බැරිද ඔයාලට?? ඇමරිකාවට ගිහින්... දැන් ඉතින් එකම රටේ මිනිස්සු නෙව... දැන් ඉතින් එහෙට ගිය මුතු ඇටේ පොරවල්ලව පිලිගන්නවා ඔබා මාමා කොහොමද.... ආය ඉතින් කොහොමද දන්නවාද? යුද්ධේ දිනද්දී පිට රට ඉදලා ලංකාවට එද්දී මහින්ද මාමාව පිළිගත්තා වගේ.. තොරන් ගහලා.. ජයමංගල ගාථා කියලා එහෙම.. ඔබා අන්කල්ටත් ෆුල් හැපීලු ඉතින්....


ඔන්න ඉතින් නෑගම් ගිය මුතු ඇටේ කට්ටිය... පිස්සු කෙලිනවාලු හෝ...... ගාලා.. මොකද ඉතින් නිවාඩුවට ගියා වගේනේ නෑයෝ බලන්න.. අනික ඉතින් "කැලේ මාරු වුනාට කොටියගේ පුල්ලි නැතිවෙන්නේ නෑනේ"හිකිස්..කට්ටිය ට්‍රිප්ස් යනවලු.. ජොලි කරනවලු... සෙට් එකක් ලාස් වේගාස් වලට බැහැලා බාටා කෑලි දෙකත් උකස් කරලා බූරු ගහනවාලු..


ඔහොම දවසක් දෙකක් ගියාම දැන් ඉතින් ආය මුතු ඇටේට යන්න හිතක් නෑලු... ඔක්කලාම ඉතින් දැන් පුලුපුලුවන් විදියට හත්අටපොලකින් ඉඩම් අල්ලලා වැටවල් ගහගෙන පැලක් අටවගෙන ඉන්නවාලු. පොඩි පොඩි බිස්නස් පාරක් එහෙම දාගෙන ඉන්නවාලු.. බුලත් බිස්නස් එකයි ඉංගිරීසි පංතී කෙරුවාවයි තමාලු නැගලා ගියේ.. සුද්දෝ ඉතින් කවදා කාපු බුලත්ද.. උන් ආසාවටත් එක්ක කනවලු.. (බිලීව් මී ඕර් නොට් මෙයාලා බුලත් පැලයක් යනකොට මුතුඇටයෙක් සාක්කුවේ දාගෙන ගිහින් නෙව.. ඒකෙන් තමා බිස්නස් එක රන් කරලා තියෙන්නේ.. සැහ්.. මොනවා වුනත් අදහන්න වටින මිනිස්සු අහ්! ) ලංකාවෙන් ගෙන්නපු සක්විති සර්ගේ ඉංගිරීසි පොත්ටිකයි සීඩී ටිකයි විකිණුනාලු නිකං අපේ ඉස්කෝලේ ලග කඩේ අයිස් පැකට් විකිණෙනවා වගේ..


ඕං ඉතින් එක දවසක් උදේ පාන්දර ඉර මුතු ඇටේ පැත්තේ ඉදලා ඇමරිකාවට පැත්තට යාන්තං කිට්ටු වෙනකොටම සුදු නිවසට ටිකක් ඈතින් අහෙනවා.."උඹේ !@ $@$! $$$@$ %!@$!!! @$ $$%% ^$$% $^&^ *(*))&* ^$$$%@" වගේ ප්‍රිය සිංහල වචන සෙට් එකක්.. මෙන්න යකෝ එතකොටම එනවා FBI අයියලා ටිකක් කේස් එක මොකද බලන්න.. මෙයාලා මාර කුවික් නේ...! අනික කෙලින්ම FBI ‍ම බහින්නේ ඉතින් මුතුඇටේ පොරවල් වෙරි ඩේන්ජරස් කියලා දන්න නිසා... කඩුවකුත් තියාගෙන හිටපු හයේ හතරේ ඩයල් එක දැකලා FBI කට්ටියක් සැලෙන්ඩර්.. ඇයි අප්පා.. ඕක වැනුවොත් බඩුම තමා.. හනුමා දර පැලුවා වගේ තියෙයි! කොහොමත් තුවක්කුව එලියට අදින්නත් බයයිනේ ඉතින්.. ඔබා බොසත් බයකොට... කොහොම හරි සීන් එක බලද්දී රෑ මැදදී තිබුණු වැට රී ප්ලේස් වෙලා.. මෙහා පැත්තේ තිබුණු දෙල් ගහ එහා පැත්තට ගිහින්..! ඉතින් කරන්නම දෙයක් නැති තැන FBI කට්ටිය සෙට් වෙලා වෙන තැනක තිබුණ දෙල් ගහක් ගෙනල්ලා ‍වැට මෙහා පැත්තෙනුත් සෙට් කරලු...


ඒ අස්සේ ඇමරිකන් කාරයෝ විසි තිස් ගානක් NYPD එකට ගිහින් පැමිණිලි දාලලු මුතු ඇටේ පොරක් උන්ට ඇමරිකාවේ රස්සාවක් අරන් දෙනවා කියලා සල්ලි අරගෙන දැන් මාරු වෙලා කියලා... පෙනේද මුංගේ තරම නේ? ෂුවර් එකටම ලංකාවේ ඇමතිලා ලඟ වැඩ කරලා මුතුඇටේට ගිය පොරක්.. 220% පොලියක් දෙනවා කියලා සල්ලි එකතු කර ගත්තු මුතු ඇටෙන් ආව ෂක්විතිෂ් ඇන්ඩසන් කියලා පොරකුත් අතුරුදහන් වෙලා කියලා තව පැමිණිලි පෝලිමයි. ඌත් කතා දෙකක් නෑ සක්විති සර්ගේ රෑ හොර පංතියට ගිය පොරක්..


ඔය අස්සේ ඔබා මාමාත් නිකං ඉන්න බැරි නිසාද මන්දා ගිහින් මුතුඇටවාසීන්ගේ සුව දුක් බලන්න.එයා ඉතින් ගේ අස්සේ ඉදලා එලියේ වෙන ඒවා දන්න එකක්යැ... ඔබා මාමාත් පොර වගේ ගිහින් වාහනෙන් බහිනකොටම... පටන් ගත්තේ නැතැ.. ඉල්ලීම් කොරන්න.. රස්සා දෙන්ටය.. ගෙවල් දෙන්ටය.. අර සහනාදාර මේ සහනාදාර දෙන්ටය.. පිටි මිල අඩු කරන්ටය.. පාන් මිල අඩු කරන්ටය.. අරවද මේවද.. කෝවද නොකළ ඉල්ලීම්.. උඹ‍ නේද අපිව ගෙන්න ගත්තේ.. කතා ගොඩයි... ඒ අස්සේ ඈත ඉදලා දුවගෙන ඇවිල්ලා පොලිස් පොරක් හති දදා කියනවා..


"සහ්.. සහ්.. සර්..... අහ්.. අන්න....මුතුඇටේ.... කැම්පස් පොරවල්ලා ටිකක්........"
"කියපං‍කෝ යකෝ ඉක්මනට.. සෙක්‍රට්‍රී...... මෙයාගේ සෞඛ්‍ය තත්වය හොද නෑ.. කවුද මෙයාව අපේ පොලීසියට ගත්තේ? එයාට අදම අස්වීමේ ලියුම යවන්න.. හ්ම් හ්ම් කියනවා ඉතින්"
"හිටපංකෝහ්... පොඩ්ඩක්! හති බං!"
"හැක්.! යකෝ උඹේ ඇස් පේන්නේ නැද්ද? මං ඔබාමා.. මේ... මේ.. මං ඔබාමා බොල..."
"අහ්.. ෂො..ෂොරි සෑර්....අන්නහ්..අපේ ප්‍රයිවට් කැම්පස් වහන්න කියලාහ්.... කෑගගහා මේ පැත්තතට එනවා......කැම්පස් උන්හ්.."


"මල හත්වලාමයි! කෝ මිෂෙල්.. මිෂෙලෝ...... මෙහෙ එනවා යෝදියේ... ඔය සුව දුක් බැලුවා ඇති. තව හිටියොත් අපිත් අනාතයි.. මාරු වෙමු.....අන්න අන්න අරුන් මෙහෙත් පාරට බැහැලලු.."


මිෂෙල් ඇන්ටිටත් දැන් පට්ට බයලු.. පොඩි එවුන් දෙන්නවත් ඇදගෙන මුතුඇටේ ගෑණුකෙනෙක්ගේ ඇගෙත් හැප්පිලා දුවගෙන ඇවිල්ලා නැග්ග වාහනේට.. එතකොටම අර මුතු ඇටේ ගැහැණි පටන් ගත්තේ නැතෑ.."කොහේද යකෝ යන්නේ.. ඇස්පේන්නේ නැද්ද ගෑණියේ.. ඇවිල්ලා ඇහිදපිය මේ හැලිච්ච කොස්ටික.." මොන කොස්ද.. ඔබා අන්කල්ට ටොයිලට් යන්න හදිස්සි වුනා වගේ වාහන නයිට්‍රසුත් ඔන් කරගෙනම මාරු..... වයිට් හව්ස් එකට කිට්ටු කරද්දී පොඩි ගින්නක් වගේ දැක්කා ඔබා මාමත් දුර තියාම.. හප්පේ කවදා වුන දේවල්ද දෙයියනේ... ඔලුවේ අතගහත්තා.. ටිකක් කිට්ටු කරලා බලලා "බොලේ.. මේ ‍මං නේද ගිනිගන්නේ??????" කියලා අත්දෙකින් ඔබා මාමා කම්මුල දෙපැත්ත අතගාලා බැලුවා.. "අම්මේ.. දැන් තමා ඇඟට ලේ ටිකක් ඉනුවේ! මේ පඹයෙක් නොවැ"


"කවුද මේ.........අඩේ අප්පා... මේ මුතුඇටස්ලානේ..... මොකක්!! ඡන්දයක්! ඕ මයි ගෝඩ්.... නෝ වේයි.... මුන්ට සයිකොද..? මගුලක් කතා කරනවා.. මං මේක දින්නෙත් බොහොම අමාරුවෙන්... ඊට වඩා අමාරුයි ප්‍රතිඤා දෙන්න... මට වැරදිලා දෙපාරක්ක කොහේද කිව්වා.. ඊට හපං.. අර ලොකු අයියා ඡන්දේ ඉල්ලුවොත් මට හුටා තමා.. බම්බුව.... යකෝ..... මුතු ඇටයන්ගේ තරම ඇත්තට.... මුං මගේ බඩටමනේ කෙලින්නනේ යන්නේ" කියලා ඔබා මමා තනියම කියාගෙන මරුටියෙන් බැහැලා ගේ ඇතුලට ගියා..


"බලනවා මනුස්සයෝ තමුසේ කරපු වැඩේ.. මට අද ෂොපිං යන්නත් නෑනේ අර ජුලියට් නංගී එක්ක.. අනික හතර විලි ලැජ්ජාවයි යකෝ.. ලාඩං අයියා එහෙම අනිත්පැත්තෙනුත් හිනා වෙනවා ඇති.."
"හරි හරි මගේ සුදු නෝනේ... අර මුතුඇටේ වටිනකියන දේවල් ටිකට ගේම දෙනකම් විතරනේ.."
"මේ‍.. මේ.. ඒවා හරියන්නේ නෑ.. මේ මුතුඇටස්ලා හෙටම මෙහෙන් යවන්න ඕනි.. ඕවර් ඇන්ඩ් අවුට්! එහෙම නැත්තං... හෙට ඉදන් කඩෙන් කාලා අර පිලිකන්නේ ලණු ඇදේ නිදාගන්නවා හොදයි.."


ඔබා මාමාත් ෆුල් අන්දොස්.. මුතුඇටේ පොරවල්ල මෙහේ ආවට පස්සේ හොරෙන්ම මුතුඇටේට ගිය ඔබා මාමාගේ අය එහේ ගේම දෙනවා.... "සික්.. මේ ගෑණි එක්ක මුකුත් කොරන්න බෑනේ.. අපරාදේ මගේ ප්ලෑන.. මේ මුත්තු ‍නම් මාර කඩි තමා.." හිතෙන් හිත හිතා ජනේලෙන්, එළියේ ගිනි ගන්න පාර දිහා බැලුවා..


".කරන්න දෙයක් නෑ.. හෙට යැව්වේ නැත්තං.. මට හෙට රෑ මැක්කොත් එක්ක තමා බුදියන්න වෙන්නේ.. බුෂ් අයියා එහෙම දැනගත්තොත් එයාගේ පපියා නිදා ගත්තු ලණු ඇදේ මං නිදා ගත්තා කියලා හපාගෙන මැරෙන්න වෙන්නේ.."


පහුවෙනිදාම වහාම මුතුමෙරිකා කසාදය දික් කරා.. පලයව් මුතුඇටේටම..... තොපි වගේ උන් හරියන්නේ නෑ අපිට... අඩේ... හිතුවට වැ‍ඩිය ‍වැඩේ ලේසීලු.. මේ ඇටයෝ ඔක්කලාම බඩු අකුලන් යනවා.... ඔබා මාමටත් දුක පරදා ෆුල් හැපීලු දැන්.. කිසි කරදරයක් නැතිව යනවානේ කස්ටියම...


(මං ඉතින් මේ ජොලියට වගේ හිතට ආපු විකාරයක් ලියලා දැම්මේ.. හිතනවාට වඩා ලියනකොට දිගයි වගේ. පටන්ගත්තු දේ ඉවර කරන්නත් එපැයි. හෙට ඉතුරු ටික ලියන්නම්. අර white america සිංදුවේ අකැප වචන තියෙනවා තමා ඉතින්.. අනික ඉතින් තේරුම දන්නෙත් නෑ මම. :p ඇමෙරිකා... කියලා කෑ ගහන නිසා නිසා දැම්මා ඉතින්.. හික් හික්)

Saturday, December 11, 2010

විකුණුන ඇය..

තරමක් පියකරු බවක් ඇය සතු වුවද දිනෙන් දින එය නැති වී යන්නා සේය.. වයස අවුරුදු තිහ් පහක් හතලිහක් පමණ වූ, දිගටි තරමක් පැහැපත් මුහුණකින්ද සිහින් සිරුරකින් හා යුත් ඈ පිරිමියෙකු දකින විට අගර දගර පායි.. විටෙකදී ඇය දෙස විමසිල්ලෙන් බලන්නා වූ පිරිමියෙකුට සිනාවක් පායි.ඇස්වලින් කතා කරයි... එසේ නැතිනම් ජංගමදුරකතනයක් කනේ තබාගෙන කවුරුන් හෝ සමග කතා කරමින් සීටී.. බොහෝවිට සවස් යාමයේදී දැකිය හැකි ඇයගේ විච්චූරණ, ශරීරය කැපී පෙනෙන ලෙස අදින ඇදුම් ද හැසීරීම් රටාවද දකින්නා වූ විට පිරිමින් තුල බොහෝ විට ඇති වන්නේ රාගී හැගීම්ය... එසේත් නැතිනම් නැවතත් ඇය දෙස නොබැලීමට තරම් අප්‍රසන්න හැගීමක්ය.. ඔව්.. ඇය ලොව පැරණිතම රක්ෂාවේ යෙදෙන්නියකි.. වෛශ්‍යාවකි.. සරලවම කීවොත් ගණිකාවකි...

කුඩා කලදී මා අම්මගේ අතේ එල්ලී නගරය දෙසට යනවි ට මැය නොදකින දිනයක් නැති තරම්ය. ඇය ගැන ඇති වූ දාහක් ප්‍රශ්න අතරින් එකක් අම්මාවෙත ඉදිරිපත් කලේ අනික් ඒවා පසුවට තබාගෙනය..

"අම්මා.. අර ගෑණුකෙනා කවුද? හැමදාම දකිනවානේ..."

ඇය පසු කර මදක් ඉදිරියට ගොස් සිටි මම අම්මාට ඇය පෙන්වමින් ඇසුවෙමි. අම්මාත් හැරී බලා
"ආ.. එයා නරක ගෑණු කෙනෙක්.. බලන්න එපා එයා දිහා.." යැයි පැවසුවාය.


අසන්නට තිබුණු ප්‍රශ්න ඇසීම නතර කිරීමට සිදු විය. නැවත වරක් ඇය දෙස හැරී බලද්දී ඇගේ නෙතටද මා හසුවන්නාත් සමගම මම වහා ඉවත බලා ගත්තෙමි.. මන්ද ඇය "නරක ගැහැණියකි". සිත තුල සදා නොමැකෙන ලෙස සටහන් වූ අම්මාගේ කියමන නිසා මා කවදත් ඇය දෙස බැලුවේ නරක ගැහැණිය යන කෝණයෙන්මය. අම්මාගේ අතින් මිදී යාලුවාගේ කරට අත දාගෙන යන කලදීත් කවුරුන් ඇය දෙස බැලුවද මට ඇය දෙස බැලීමට සිත් නොදේ. මා උසස් පෙල කරන කාලයේදීත් ඇය එතැනමය. අමතර පංති නිමවී ගෙදර ඒමට එන විට දකින අනිවාර්යය දසුනකි ඈ. ඇය මට විශේෂ නොවූවාය. නමුත් ඇය විශේෂ වූයේ මගේ පැරණි මිත්රියෙකු වූ කෝසල කලකට පසුව මට මුණගැසීමෙන් පසුවය.


කෝසල, නග‍රයේ සාමාන්‍ය වෙලද සැලක් හිමි ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයාය. එම නිසා බොහෝ දෙනෙක් ඔහු හදුනයි. "මුඩුක්කුවක්" ලෙස බොහෝ දෙනා හදුන්වන නගරයේ කොටසක ඔහුගේ වෙලදසැලත් නිවසත් විය. නග‍රයේ සිටින්නවුන්ගේ උස්පහත්කම් ඔහුට අදාල නැත. පාර අයිනේ සිගාකමින් සිටින්නියකට "අක්කේ ගිහින් එන්නම්" කියන්න ඔහු සමග කවුරු සිටියත් පසුබට වන්නේ නැත. එමෙන්ම සමාජය පිළිබදව, මිනිසුන් පිළිබදව ඔහුතුල තිබුණේ වෙනස්ම ආකල්පයකි. කවුරු වුවද ඔහුට එකම මට්ටමේය. ඔහුගේ මෙවන් වූ ගතිගුණ නිසාත් ඔහු ආශ්‍රය කල අය අතරේද ඔහු ප්‍රසන්ය පුද්ග‍ලයෙකි. බොහෝ විට පියාගේ මිත්‍ර ව්‍යාපාරික ප්‍රජාව අතර සහ නගරය තුල සිටින දුප්පත්, පාරේ තොටේ වෙහෙස වෙන දුප්පත් මිනිසුන් අතර..


දිනක් ඔහුත් සමග යන විටෙකදී පෙරකී ගැහැණිය මුණ ගැසිනි. කෝසල දුර තියාම දුටු ඇයගේ මුවේ සිනාවක් නැගුණි. මට නාසාම බැරි ප්‍රශ්නයක් ඇති වූයේ ඇගේ ඒ සිනාව නිසාමය..


"අදුරනවාද බං?"
"ඔව් බං.. මගේ හෙන ෆිට් එක.."


කෝසලගේ තරම දන්නා මට එය පුදුමයක් නෙවේ.. ඇය සිනා මුසු මුවින්ම කෝසල සමග කතාවට වැටේ..


"කොහේද මල්ලී යන්නේ?"
"යාලුවෙක් හම්බුනා අක්කේ. පොඩි වැඩකට යනවා."
"මම අද කඩේ පැත්තටත් ගියා.. ඔයා හිටියේ නෑනේ.. මේ දවස්වල වැඩත් නෑනේ.."
"අහ්.. මම ඒ පැත්තේ ගියේ නෑ අද.. මං පස්සේ එන්නම් අක්කේ.. වෙලා ගියා.."
"හරි මල්ලී"


ඇය නැවතත් මගේ දෙසත් බලා සිනාසේ.. "යන්නම්" ඇය සිහින් හඩකින් මටත් පවසා අප පසුකරමින් යයි.. පුදුමයකි... අම්මා සිතූ තරම්වත් මා සිතූ තරම්වත් ඇය පහත් නැත...!


කෙටි වුවත් කතාව අවසන් වන විට "ඇය නරක ගැහැණියකි" යන සිත තුල ගිලා බැසගත් හැගීම මවෙතින් පහව ගොස් ඇති සේය. ඇගේ කතාව සන්සුන්ය. රැකියාවට ගැලපෙන, අපි සිතන තරම් පහත් බස් වහරක් ඇය තුල නැත. ‍අම්මාගෙන් ඇසීමට ඉතිරි වූ ප්‍රශ්න වලට අම්මාටත් වඩා හොදින් පිළිතුරු දිය හැකි එකෙක් මා සමගය.


මා සතු වූ ප්‍රශ්න එකින් එක ඇසුවෙමි.. ඇතැම් පුශ්න වලට පිළිතුරු දීමට අකැමැති වුවද අ‍පගේ මිත්‍රකම නිසා යැයි කියමින් උත්තර දෙන්න කෝසල ඉදිරිපත් විය.. ප්‍රශ්න වැලක් අවසානයේ ලැබූ පිළිතුරු ඇතැම් විට පුදුම සහගතය.. ඇතැම් විට දුකක් අනුකම්පාවක් මුසුය.. ඇගේ කතාව කෙටියෙන් මෙසේය..


ඇගේ මව මෙන්ම පියාගේත් ප්‍රධාන රක්ෂාව වූයේ සිගමනයි. පියා උපතින්ම අන්ධයෙකු වුවත් ඔහු සතු ගායන හැකියාවෙන් කියක් හෝ උපයා ගනී.. මව ප්‍රධාන රැකියාව හැරුණු විට කුලී වැඩ කරන්නියකි. ඔවුන් දෙපලගේ සිව් වැනි දරුවා පෙරකී කාන්තාවයි.. ඇයගේ නම කෝසල මට කීවද දැන් මගේ මතකයේ නැත. ඉංග්‍රීසි ආරයේ නමක් බව මතකයේ ඇති නිසා ඇයට ජේන් යැයි කියමු. කෙසේ වුවත් ඇයට එම නම ලැබී ඇත්තේ ඇගේ වෘතීයට පිවිසි පසුවයි


ආර්ථික අපහසුතාවයන් රැසක් ඇතිව, අඩුම තරමින් ඉන්න හිටින්නවත් නැති පවුලේ පියා පසු කාල‍යකදී දැඩි ලෙඩ මත්වතුර පානයට ඇබ්බැහි වීම නිසා සිදුවන්නේ ඔවුන් සිටි තැනිනුත් පහලට වැටීමටයි. මවට රෝගී තත්වයක් නිසා තව තවත් ආර්ථිකව ඇද වැටුනු ඔවුන්ට ඇති එකම ආදායම් මාර්ගය වූයේ වැඩිමහල් සොයුරෙකු උපයාගත් සුලු මුදලකි. කාලය ගතවෙද්දී මේ වැඩිමහල් සොයුරාගෙන්ම ඇයට මුදල් ටිකක් යහමින් උපයාගත හැකි ව්‍යාපාරයක් ගැන යෝජනාවක් ලැබේ. මේ වන විට වයස අවුරුදු 20ට ආසන්නව සිටි ජේන් තම පියාගේද අනුදැනුම ඇතිව තමාගේම සහෝදරයා හරහා ව්‍යාපාරිකයෙකුට විකිණෙන්නේ කියූ තරම් නොවුවත් ඔවුන්ට දවස් ගානක් මහන්සි වුවත් උපයාගත නොහැකි වූ මුදලකටය.


මුලින්ම ලැබෙන්නා වූ මේ මුදල ඇතැම් විට ඇය ජීවිතේ පලමු වරට අතගෑ මොනර කොල වලිනි. ඉතින් යහමින් මුදල් ලැබුණු මේ නව රැකියාවට අකැමැත්තෙන් හෝ කැමැත්තෙන් ඇය කැමති විය. ලැ‍බෙන මුදලින් තම මවට හැකිතරම් බෙහෙත් කලද මුදලින් වැඩි කොටසක් පියාටත් සහෝදරයාගේ අතටත් යෑම වැලකිය නොහැකි විය. සහෝදරයාට මුදල් නොදුන් දිනකදී ඇයට සිදුවන්නේ හොද හැටි පහරකෑමටය. අවසානයේ ඇගේ මවගේ මිය යෑමෙන් පසුව ගණිකා වෘතීය තම ජීවන වෘතීය බවට පත් කරගනීය.


වැඩිමහල් සහෝදරයාගේ සහායෙන්ම කලක් සිදුකලත් රැකියාව පසු කාලයකදී ඔවුන්ගෙනුත් වෙන්ව තමාට උවමනා පරිදිම රැකියාවේ නියුතුවේ.. බොහේ විට මුදල් යහමින් පැවති උන් අතර හුවමාරු වන වෙළද භාණ්ඩයක් වූ ජේන්ගේ රූපස්වභාවය කාලයත් සමගම ඇතැමි විට රැකියාවේ ස්වභාවයත් අනුවම වියැකී යන්නට විය. රූපයේ මද බව ඇගේ ක්ෂේත්‍රයේ පහල වැටීමට හේතුවකි. ඇයටද සිදු වූයේ ගෙවූ තරමක් සුවපහසු ජීවිතයෙන් නැවතත් පාරට බැසීමටය. තැන තැන ඇවිදිමින් තමාට තාවකාලික හිමිකා‍රයෙක් සොයන්නටය. ලැබෙන ආදායම අඩු වුවද රැකියාවෙන් ඉවත් නොවූවාය. ඒ ඇයට වෙනත් වෘතීයක් කිරීමට හැකියාවක් නොලැබුණ නිසා විය හැක.


ඇය මෙවැනි කතා සියල්ල කෝසල සමග පවසා ඇත්තේ ඇතැම් විට ඔහු සමග පැවති සුහද බව නිසා විය හැක. ඇතැම් විට කොසල තරම් සුහද කෙනෙක් තම ජීවිතයේ නැති නිසාම මේ දේවල් කීමෙන් සිත නිදහස් කරගැනීමට විය හැකිය. එසේත් නැතිනම් ඇතැම් විට වෙනත් අරමුණකිනි විය හැක. කෙසේ වුවද ඔවුන් දෙදෙනාගේ මේ සබදකම් ගණුදෙනු කටයුත්තක් මත ඇති වූවක් නොවන බව මට ස්ථීරය. හේතුව කෝසල ගැහැණුන් පිලිබඳව පිරිමියෙකු තුල පවතිනා හැඟීම් බොහෝ දුරට මඩනා ලද එකෙකු නිසාය.


මෙය ඇසූ පසු ඇය දුටු තැනකදී මම ඇය දෙස නොබලා ඉවත ගිය දවසක් මතකයේ නැත. ඇයද මා කෝසලගේ මිතුරෙකු බැව් දන්නා නිසා මට සිනහවකින් සංග්‍රහ කරයි. කොතරම් ඇය පහත් කර දක්වන පිරිසක් අතරේ වුවද ඇයට "යන්නම්" නොකියා යන්නට සිත් නොවේ.. කෙසේ වුවද දැන් ඇය අතුරුදහන්ය. පෙර ඇය හමුවන තැනකවත් ප්‍රදේශයේ කිසිම තැනකදීවත් ඇය දකින්නට නැත. ඇතැම් විට ඇය වෙනත් ප්‍රදේශයකට ගොස් තිබෙන්නට පුලුවන. ඇතැම් විට පොලීසියේ අත්අඩංගුවට.. නැතිනම් රෝගයක් නිසා.. වෛරයෙන් සිටි තම සහෝදරයාගෙන් කරදරයක් වීමට පුලුවන. එසේත් නැති නම් ජීවිතයෙන් සමුගෙන වෙන්නට පුලුවන.. ඇගේ පියා නම් තවමත් බීමතින් වීදිපුරා කෑ ගසමින් සිටී. අන්ධයෙකු වූ ඔහුට උපකාරයක් කිරිමට කිසිවෙක් නැත..


මෙය ලියන්නට හේතුවක් නොමැත. ලිවීමෙන් ජේට වන දෙයක්ද නැත. ඇය මෙය කියවන්නේ නැති බවත් ස්ථීරය. මගේ සිත තුල ඇය කෙරෙහි අනුකම්පාවක් මිස වෙනත් කිසිම හැඟීමක්ද නැත. එය භූමිකම්පාක් නොවම අනුකම්පාවක් බවද සහතිකය. ජේන්ගේ රැකියාව ලංකාවට අකැපය. නමුත් අකුරක් නොයිගෙන ගත් ඇයට හිගාකෑමත් කුලී වැඩත් හැරුන කොට කල හැක්කේ මෙවැන්නකි. හොදින්ම මුදල් ලැබෙන රැකියාවක් ලෙස ඇය තම ශරීරය විකිණීමට තීරණය කරන්නට ඇත.. කෙසේ වුවත් අවසානයේ ඇය නිසා ගණිකා වෘතීය ගැන මගේ හිතේ ඇති වූ හැඟීම ලියන්නට සිතේ..


ලොව ඇතැම් රටවල නීතියෙන් පවා සම්මත මෙම වෘතීය ලංකාව තුලදී පහත් එමෙන්ම නීතියෙනුත් අවසරයක් නැති වෘතීයක් බවට පත්වන්නට ඇත්තේ බොහෝ දුරට ලංකාවේ සංස්කෘතීමය හේතූන් නිසා විය හැකිය. ලංකාවේ සිටින්නා වූ, කොයි තරම් සුපිරි පංතියකට අයත් වෛශ්‍යාවක් වුව තම රැකියාව කෙරෙහි ආදරයක් ඇති බවක් මම නම් නොසිතමි. ජේන් මෙන්ම ඔවුන්ද වෛශ්‍යාවක් ලෙස ගෙවන දිවියට වෛර කරන්නන් විය යුතුය. ඔවුන් මෙම වෘතීයට ඇතුල් වන්නේ බොහෝ විට ආර්ථික අපහසුතා හා අවට සිටින්නවුන්ගේ බලපෑම් නිසා විය හැකිය. පවුලේ පවතින්නා වූ හේතූන් විය හැකිය. සංස්කෘතීම වශයෙන් ඔවුන් සමාජයේ පහත්ය.. සමාජයට හානිකරය. නමුත් මම එය නොපිළිගනිමි. එය නොපිළිගත්තාට ඔවුන් සාධාරණය.. ගණිකා වෘතීය නීත්‍යානුකූල කලයුතුයැයි කියන්නත තරම් මම හපනෙක් නොවෙමි.. එසේ වුවද වෛශ්‍යාවන් ගැන මා තුල ඇත්තේ අනුකම්පාවකි. එය ජේන් නිසාම මා තුල ඇති වූවක්.


මා සිතනවාට වඩ පුලුල් ලෙස මේ පිළිබඳව ඔබ සිතනවා විය හැක. මේ මා දන්නා තරමය. ඇතැමි විට තව තවත් මේ දේවල් ගැන දැනගන්නා විට මෙම වෘතීය ගැන මගේ ආකල්පය වෙනස් විය හැකිය. මගේ සිත තුල දැනට පවතින අදහස සරළය. ඇතැම් විට ඔබගේ අදහස් මත බිඳී යා හැකිය. මට බණින්නට ගුණදොස් කියන්නට ඔබට හැකිය. වැරද්දක් ඇති නම් පෙන්වා දෙන්න අවසරය..


කෙසේ වුවත්..... ජේන් ජීවත්ව සිටීනම්.. ඔබට යහපත් දිවියකට උරුමකම් ලැබේවා.. මේ ප්‍රාර්ථනය හැර ඔබ වෙනුවෙන් කල හැකි දෙයක් මට නැත..



Monday, October 4, 2010

අපේ ඉස්කෝලේ ගැන ලු..

අලෝ කස්ටිය.. ගොඩ..... දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ... ජාත්‍යන්තර බලපෑම් නිසා මගේ කොම්පූටරේට අකුණකින් හානි වුනානේ.. දැන් ෂේප් ඉතින්.. ඔක්කලාම හොදින් නේ....?

මම ඉතින් මේ හිටි හැටියේ එහෙටත් නැති මෙහෙටත් නැති වෙලාවක මොනා හරි කුරුටු ගාලා යන්ට කියලා ආවේ හිතේ තියෙන දේවල් මගේ ආදරණීය බ්ලොග් එකට හැර දැන් වෙන කාට කියන්නදෝ.... කියලා හිතිලා.. ලියන දෙයක් "හැඟීම් වල බර" (පිටස්තරයා කියපු වචනයක්.. මම කැමති වචනයක් :D ) අඩු වෙන්න කලින් ලියන්න ඕනි.. නැත්තං පස්සේ හිතෙනවා මේක ලියලා වැඩක් නෑ.. මොකට ලියනවාද කියලා.. ඉතින් මේ පාන්දර ජාමේ මං කල්පනා කර කර හිටියේ මම උසස් පෙළ හදාරපු ඉස්කෝලේ ගැන සහ යාලුවෝ ගැන....

ඉස්කෝලේ ගිය ඕනි එකෙක් ඉතින් කැමතිම කාලේ නේ උසස් පෙළ කරන අවුරුදු කිහිපය.. ඒ වගේ තම ඉතින් මමත්....යාලුවෙත් එක්ක පිස්සු කර කර ජොලියේ හිටි කාලේ මතක් වෙනකොට නම් එක අතකින් දුකකුත් හිතෙනවා. ආය ඉතින් කවදා කොරන්නද ඒ වැඩ...

ඉතින් ළමයා උසස් පෙළ හැදෑරුවේ පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ.. නවෝධ්‍යා පාසැලක්.. මිශ්‍ර පාසැලක්... මම උසස් පෙළ කරන්න ඉස්කෝලෙට ඇතුල් වුනේ 2007 දී.. සාමාන්‍ය පෙළ කළ ඉස්කෝලෙන් විවිධ හේතු නිසා අයි‍න් වෙන්නම වුන නිසා අස් වෙලා පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වුනා මිසක් මම මුලදි නම් කැමැත්තකින් නෙවෙයි ඒ පාසලට ඇතුලත් වුනේ.. ඒ වුනාට මොකද වැඩි දවසක් යන්න කලින්ම ජීවිතේ කොටසක් වගේ වුනා මගේ ඉස්කෝලේ..

පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය දන්න අය ඉතින් දන්නවා අපේ ඉස්කෝලේ තියෙන්නේ කඳු මුදුනක කියලා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඉදලා කිලෝ මීටරයකට ආසන්න ප්‍රමාණයක් ඇතුලින් තමා අපේ ඉස්කෝලේ තියෙන්නේ. පේරාදෙණියට ලගම.. නුවර පැත්තේ ඉදන් එනකොට පේරාදෙණිය පහු කරලා ටික දුරක් එන්න ඕනි...

හිටපු විදුහල්පති කෙනෙක් වුන සෝමරත්න ගුරුතුමාගේ නීතියකට අනුව විදුහල්පතිතුමා හැර වෙනත් ගුරුවරයෙකුටවත් ළමයෙකුටවත් අර ප්‍රධාන මාර්ගයේ ඉදලා ඉස්කෝලෙට තියෙන දුර වාහනයක එන්න බෑ. උදේම ඉතින් කස්ටිය කන්ද නගින්න ඕනි පයින්ම. ඉතින් අපේ පංතියේ හිටියේ 24යි.. ඒ 24 කොලුවෝ 8 දෙනෙයි කෙලි පැංචියෝ 7 දෙනකුයි ඉතින් නිතරම එකට හිටියේ.. ඒ නිසා උදේට හැමදාම ඉස්කෝලෙට යන හන්දිය ලග ඉන්නවා අපේ පංතියේ අය.. යාලුවෝ 15 දෙනා එකතු වෙනකම්... මේ ටික එකතු වුනාම පිස්සු කෙල කෙල අර කිලෝ මීටරේක දුර විනාඩි 45ක් විතර ගාටනවා..

ඔය කන්දේ පයින් යන නීතිය ගැන ගුරුවරු දවසක් සෝමරත්න සර්ට කිව්වේ විදුහල්පතිතුමාටත් මේ නීතිය අදාල වුනා නම් හොදයි කියලා.. එතකොට සර් කිවුවේ "රජතුමා කොහොමත් දෝලාවෙන් යන්නේ. රට වැසියෝ පයින් " කියලා. හිහ්..

මේ කදු මුදුනේ තිබුණු පාසලේ පරිසරයත් හරිම නිස්කලංකයි.. බලන බලන පැත්තේ ගස් වලින්.. පිට වාහන වලටත් පාසලට ඇතුලු වෙන්න අවරසර ලැබුණේ නෑ. ඒ නිසා වැඩි ශබ්ද නෑ.. ගොඩ නැගිලි තුලත් මිදුල තිබුණා.. ගස් වවලා.. සෙවණයි, සිසිලයි එක්ක ෂෝයි.. ඒ පරිසරයත් එක්ක ඉන්නකොට හිතටත් නිදහස්...

පාසලේ ක්‍රීඩා පිටිය‍ට ගියාම ක්‍රීඩා පිටියේ එක පැත්තකින් පේනවා හන්තාන කඳු පෙල වගේම නුවර අවට විශාල ප්‍රදේශයක්. ඒ වගේම පේරාදෙණිය දුම්රිය පොළ සහ ‍විශේෂයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශාල කොටසක්. අර කලින් කියූ සෝමරත්න සර් කියන විදියට ලංකාවේ ඉස්කෝලෙක ඉදලා විශ්වවිද්‍යාලයක් මේ තරම් හොදින් පේනවානම් ඒ අපේ ඉස්කෝලේ විතරලු. අපේ පංතියට ආව වෙලාවක සර් කිව්වේ "පලයල්ලා කොල්ලනේ පිට්ටනියේ කොනට.ගිහින් කැම්පස් එක දිහා බලාගෙන අධිෂ්ඨාන කරගනිල්ලා කවදා හරි එතනට යනවා කියලා. ගිය දවසක එතන ඉදලා අපේ ඉස්කෝලේ දිහා බලලා පිං දීපල්ලා" කියලා. ඒ වුනාම මට නම් යන්න බැරි වුනා.. බලමු මේ පාරත්.. :))

ම්ම්ම්ම්.... තව.... අහ් !

මම සාමාන්‍ය පෙල කළ ඉස්කෝලේ තමා නුවර තියෙන දරුණුම පාසැල මම හිතන්නේ.. හික්. නුවර අනික් හැම පාසැලක් එක්කම මොකාක් හරි කොක්කක් තිබ්බා.. ඒ වගේම හැම වලියකින්ම වගේ අපරාජිතවත් හිටියා. ඒ ඉස්කෝලේ ඇතුලෙත් පංති අතර එහෙම වැඩි සුහද බවක් නෑ. ලගින් යනකොට හුලගක් වැදුනත් ඇති වලියකට. ප්‍රදේශයේ ප්‍රධාන පොලීසියට අල්ලපු වැටේ තමා ඒ ඉස්කෝලේ තිබුණේ.. අනිත් පැත්තෙන් නුවර පැත්තේ තියෙන ප්‍රධානම විහාරස්ථානයක්! ඒ වුනාට මොකද හැමදාම අපේ ඉස්කෝලේ එකෙක් වරදක් කරලා පොලීසියට අරන් ගියේ නැත්තං එදාට ඉස්කෝලේ නොපැවැත් වුනා වගේ.... :D ඒ වුනාට උසස් පෙළට ඇතුලත් වුන ඉස්කෝලේ හැමෝම ඉතාමත් සුහදව හිටි එක මට ගොඩාක් දැණුනා. ගොඩාක් යාලුවෝ ඇති වුනා.. අපිට වඩා වැඩිමහල් අයත් බාල අයත්.. මිශ්‍ර පාසැලක් නිසා මිතුරියොත් ගොඩාක් හිටියා.. ඉදලහිටලා වලියක් දෙකක් නොතිබුණාම නෙවේ ඉතින්.. ඒ වුනාට මගේ කලින් ඉස්කෝලේ එක්ක බලනකොට පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විනය 100% අර මගේ කලින් ඉස්කෝලේ ඉදලා ආව අය ටිකක් විතර විනය නැති වුනාට... ඒ විනය නැති වුන "ටික" ගැන කියනවානම් 2008දී, ඒ කියන්නේ අපි ඇතුලත් වුන වසරට පස්සේ වසරේදි උසස් පෙළ සදහා මම කලින් ඉගෙනුම ලැබූ පාසලෙන් ආව සිසුන් පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් කරගත්තෙත් නෑ. විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ.. :D

ඒ කොහාම වුනත් අපේ ඒ ටිකක් විතර නැති වෙලා තිබුණු විනයත් අපි තුල ඇති වුනා නිරායාසයෙන්ම.. ඒ පාසල තුල ඉදිද්දී...

ඉතින් ඔහොමයි අපේ ඉස්කෝලේ සරළව විස්තර. ඉස්කෝලේ කරපු වැඩ නම් බොහෝමයි. ඒ දවස් වල සමහර වැඩ කරද්දිත් දැන් යාලුවෝ එක්ක සෙට් වුන වෙලාවක ඒවා ගැන කතා කරද්දිත් මාර සතුටක් ඇති වුනත් සමහර දේවල් මේ වගේ ලියන්නත් නිකං මොකද මොකද වගේ.. හික්. ඉස්කෝලේ ගිය අයට ඉතින් කියලා දෙන්න ඕනි නෑ නේ.. විශේෂයෙන් කොල්ලොන්ට. ඒ වුනාට හැමෝම කරන දේවල් වලට වඩ වෙනස් දේවලුත් කරා. අරන්න ඒවා තමා කියන්න ටිකක් අමාරු.. හිතුනොත් වෙලාවක ඒවත් ලියලා දාන්නම්කෝ..

ඉතින් ඊයෙත් අපේ හොඳම යාලුවෝ අට දෙනා හම්බ වුනා.. මේ අට දෙනා මූලික කරගෙන 2009 උ.පෙ කළ බොහෝමයක් අපේ ඉස්කෝලේ යාලුවොත් එකතු කරගෙන පොඩි සංගමයක් හදාගෙන හිටියා.. නම තමා "නිතර පස්පව් සංගමය" කෙටියෙන් කිව්වේ "NPPS". ඉතින් ඉස්කෝලේ තිබුණු ක්‍රීයාකාරීම සංගමයක් තමා. නමෙන්ම තේරෙනවානේ අපේ ක්‍රියාකාරකම්.. යාලුවෝ හම්බ වෙලා අතීත ආවර්ජනයට පස්සේ හැමදාම ඉන්න කවුරු හරි කියනවා වගේ ඊයේ මමත් කිවුවා "මචං ආයෙත් ඉස්කෝලේ යන්න තියෙනවානම් පට්ට නේ බං" කියලා. ඕක කවුරු කිව්වත් ඊට අදාල උත්තරේ දෙන එක්කෙනයි ඉන්නේ.. නම ඕනි නෑ. උඹ මේක කියවනවා කියලා මම දන්නවා.. උත්තරේ තමා "ඉස්කෝලේ යන්න තිබ්බනම් ආතල්.. හැබැයි උදේ ඉදලා හවස් වෙනකම් උගන්නන්නේ නැතිව පිස්සු‍ කෙලින්න විතරක් තිබ්බනම්" කියලා...

ඊයේ ඒ හම්බ වුනේ අපේ NPPS තණතුරු දරණ සාමාජිකයො සියල්ලම එකවරක හම්බ වුන අවසාන හමුව.. දීරිඝ කාලයකට ආය අපි හැමෝම එක තැනකදී හම්බ නොවේවි.. උසස් අධ්‍යාපන කටයුතු, රැකියා.. ඕවා තමා හේතු.. දැන් අපි ලොකු ළමයිනේ.. ඉතින් හිතට ටිකක් දුකයි.. අනාගතේ කවදා හරි දවසක හම්බ වේවිනේ... එදාට රජ මගුල්! :))

ඉතින් අන්තිමට පස්පව් සංගමයේ මූලික අට දෙනාගේ පිංතූරයක් දාන්න අසයි. දැම්මොත් මරනවා කියලා කිව්ව නිසා නොදා ඉන්නම්.. එවත් අනාගතයේ දවසක දාන්නම්කෝ හැමටම බලාගන්න.. පස්පවින් තොර ඒ පිංවන්ත මූණු ටික...

ඒ වෙනුවට මේ පිංතූර දෙක තුන දාන්නම්කෝ. මේ තමා අපේ ඉස්කෝලේ... හලිය...


මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ ඉදිරියෙන්


මේ ක්‍රීඩා පිටියේ කොටසක්.. අර පේන්නේ හන්තාන ‍ඒම...


මේ අපේ ඉස්කෝලේ බොක්සං සැට් එක.. ඔව් ඔව්..
අනුරුද්ධ රත්නායකත් අපේ ඉස්කෝලේ පොරක් ;)

තව පිංතූරනම් තියෙනවා ඉතින් ගොඩාක්.. පසුවට ඒවා. :D මූණුපොතේ අපේ ඉස්කෝලේ පිටුවටත් ගිහින් බලන්නකෝ.. එතනත් තියෙනවා විස්තර සහ පිංතූර.. මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ වෙබ් අඩවිය... http://www.peradeniyacc.sch.lk/ ඒකත් බලන්නකෝ....

හලේ... පාන්දර 4.30 විතර ඉදලා ලීවේ මේ.. ටිකක් දිගත් වැඩී වගේ.. දැන් 6 පහුවෙලා.. නොනිදා රැයක් ගත කලා ළමයා.. පිස්සු නැත්තං ෂෝක්ලු..හිකිස්.

ලියපු දේවල් නම් අලේ මන්දා.. ඔන්න ඔහේ ඕන් වෙඩින් එකක් කියලා ඕන්න මම Publish Post click කොලා..
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger