Saturday, October 8, 2011

අපි නම් ඉතින් මතට තිත තියලා.. අපි නිදහස්.. !

ඉස්සර වගේ නෙවේ දැන්... සාපේක්ෂව ගත්තාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණ පිරිස බොහෝම අඩුයි වගේ පේ‍න්නේ! ඒකෙත් ඇති වරදකුත් නෑ. අපේ අප්පච්චී කියන විදියටනම් අප්පච්චී තරුණ කාලේදී සිගරට් එකක් කටේ ගහගෙන පාරෙ යන මනුස්සයා හෙන "පොරක්" ලු.! සිගරට් එකක් කටේ තියාගත්ත කොල්ලොන්ට කෙල්ලොත් හෙන ලයික් ලු ඒ කාලේ.. 


මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු මැඩම් දවසක් ඔය මත්ද්‍රව්‍ය ගැන කිය කියා ඉදලා අන්තීමේටම කිව්වා "කොල්ලනේ... උඹලට බීඩියක්, සිගරට් එකක් බීලා බලන්නම ආසයි නම් අම්මා තාත්තාට කියන්න ඒ ආසාව. අම්මා තාත්තා ඉස්සරහා බීලා බලන්න" කියලා. ඕක අප්පච්චීට කියන්න ගියොත්  ඉතින් සිගරට් එක බීලා බලන්න කට ඉතුරු වෙන එකක් යැ. ඔන්නෝහේ වෙන දෙයක් වෙච්චාවේ කියලා මං අපේ අයියා කෙනෙක්ගෙන් ඉල්ලාගෙන සිගරට් එකක් බීලා බැලුවා. නන්ස්ටොප් කැස්සක්.. :D සිරාවටම කියන්නේ! බොන උන් මොනා කියයිද මන්දා.. මටනම් ඒක "මෙලෝ රහක් නෑ". අයියාත් දුන්නා පට්ටටම ලෙක්චර් එක.. "ඇදපං දුම උඩටම.. ඇතුලට ගියාට පස්සේ දුම ඇතුලේ තියාගෙන කට අරින්න පුලුවන් වෙන්ටෝනෙ දුම එළියට එන්නෙ නැති වෙන්න" ඔය මොන මොන කතා කියලා කොහොම කොරව්වත් මට සිගරට් එකක් කටේ තිබ්බ පළවෙනි දවසේම එපා වුනා! 


ඊළඟට මත්පැන් ටෙස්ට් කරලා බැලුවේ නැත්තං නිකං මදිපාඩුවක් වගේනේ..! ඔන්නෝහේ ඒකත් කරලාම දානවා කියලා ඒ කාලේම ඒකත් ටෙස්ට් කලා. එදා වගේම අදටත් මං ඔය මත් පැන් වර්ග ගැන කියන්න දන්නෙ නෑ. කොහොම හරි පළවෙනි දවසේම ගෙනල්ලා තිබ්බේ සුදු ලේබලේ අලවාපුවාගෙන් එකහමාරක්. මං වගේ නෙවේ හොඳ දක්ෂ ක්‍රීඩකයෝ අතරේ හැමෝගේම ප්‍රීති ගෝෂා මැද මගේ 14 වෙනි උපන්දිනය දවසේ තමා මං පළවෙනියටම මත්පැන් තොලගාලා බැලුවේ! ඒක නම් ටිකක් නැඟලා යන වැඩේ.. දෙකක් තුනක් දාගත්තා.. වැඩි අවුලක් නෑ. කෝම කෝම හරි යන්තම් වගේ භ්‍රමණය වෙනකොට ‍වැඩේ අතෑරියා. හවස ගෙදර යන්නත් එපැයි! සිගරට් අතෑරියාට මොකද මත්පැන් කේස් එකනම් දරුණුවටම නැතත් උසස් පෙල පටන් ගන්නකම් වගේ කරගෙන ගියා. මොකද මගෙත් එක්ක ඒ දවස් වල හිටපු යාලුවෝ වැඩි දෙනෙකුත් ඔය සීන් එකේ හිටි නිසා. ඒකත් උසස් පෙළට ආවාට පස්සේ "එක්කෙනෙක්ගේ" දැඩි විරෝධය නිසා නවත්තලා දැම්මා. හොඳ වෙලාවට අනික් අනික් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බලන්න හිතුනේ නෑ මට.. ඇත්තටමයි කියන්නේ අද නම් මට ඒ දවස්වල මත්පැන් පාවිච්චි කරාය කියනකොටත් පට්ටම ලැජ්ජයි.. ඒකේ ඇති දෙයක් නෑනේ..!  


මේ හිටපු ගමන් කාටත් වැඩක් නැති මගේ මත්ද්‍රව්‍ය අතීත කථාව ගැන මතක් වුනේ The truth about drugs කියන http://www.drugfreeworld.org/ මගින් නොමිලේ ලබා දෙන පොත් සෙට් එක දැක්කාට පස්සේ. පොත් ටික ලැබිලා කාලයක් වුනාට මොකද ඒ එක්ක ලැබුණ DVD එක ඇරුණාම අනික් ඒවා දිග ඇරලා බැලුවේ අද තමා! ඒකේ තියෙන විස්තර ටිකකුත් කියන්නම්කෝ..






පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුලු කලාම ඔහු ක්‍රියා කරන ආකාරය සිත ආකාරය හා ඔහුට දැනෙන ආකාරය වෙනස් කිරීමට සමත් ආහාරයක් හෝ පෝෂකයක් නොවන දෙයක් මත්ද්‍රව්‍යක් විදියට හඳුන්වලා දීලා තියෙනවා. ඒවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බවට පත්වන්නේ ඒවගේ භයානකකම මත නීතියෙන් තහනම් කළ පසුවලු. 


මත්ද්‍රව්‍ය ගොඩක් දුරට ප්‍රචලිත වුනේ 1960 වගේ කාලයේ දීලු. ඒකට ගොඩක්ම ජනමාධ්‍ය වගේම සංගීතයත් හේතු වෙලාලු.! ඒ වගේමයි 2004 දී මිලියන 23ක් වුණු ලෝකයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිස 2008 වෙනකොට  මිලියන 208කට ඉහල නැගලාලු! 


මේ පොත්වල පෙන්වලා දීලා තියෙන, මත්ද්‍රව්‍ය භාවිතයට මිනිස්සු යොමුකරවන හේතු කිහිපයක් මෙහෙමයි..

  • ගැටලු වලින් මිදෙන්න හෝ නිදහස් වෙන්න
  • වෙහෙසකර බවින් මිදෙන්න
  • තමා වැඩුනු කෙනෙක් බව අන් අයට පෙන්වන්න
  • යමකට විරුද්ධත්වයක් පෙන්වන්න
  • මත්ද්‍රව්‍ය අත්හදා බලන්න
මීට වැඩිය පට්ට හේතු දෙයි ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගෙන් ඇහුවාම. අර බෙහෙත් පැණියක් බොන සීන් එකක් තිබුණනේ කාලයක්. මගේ යාලුවෙකුත් ඕකට තදින්ම ඇබ්බැහි වෙලා හිටියා. එයා කියන්නේ " මචං.. ඒක ගැහුවාම බං මේ ලෝකේ මාර සුන්දරයි කියලා දැනෙනවා බං.. ගෙදර, පවුල කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ. හෙන සැහැල්ලුයිවක් දැනෙනවා. ඒක කියන්න වචනවත් දන්නෙ නෑ බං මං.. මාර හැඟීමක්" කියලා.. ඒක තමාලු ඒ මනුස්සයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න හේතුව! ඒ වුනාට ඕවා පාවිච්චි කරලා බාගෙට මැරිලා වගේ ඉන්න හැටි දැක්කාම දුකේ බෑ දෙයියනේ! 

මත්ද්‍රව්‍ය පාවිච්චි උදවිය සෑහෙනට බ්ලොග් අවකාශයේ ඉන්නවා නේ? පොඩ්ඩක් කතා කරලා බැලුවානම් ගොඩක් දේවල් දැනගන්න බැරි වෙන එකක් නෑ! :D

පුලුවන් නම් "The truth about drugs" කියන පොත් ටික ගෙන්වගෙන බලන්න. ගොඩක් විස්තර තියෙන ප්‍රයෝජනවත් පොත් සෙට් එකක්. මම ඒ පොත් ගැන විස්තර දැනගත්තේ සිංහල බ්ලොග් එකකින්. ඒත් මට බ්ලොග් එක මතක නෑ. බලෙන්ම මගෙ විස්තර අරගෙන පොත් ගෙන්නන්න ෆෝම් එක පුරවලා දුන්නෙ නදී අක්කා.. :P පොත් ගෙන්වගන්න ඕනි නම් මේ සබැඳියෙන් යන්න.

ඔන්න අපි නම් ඉතින් මතට තිත තිබ්බා.. 
අපි නිදහස්.. 


ප.ලි :- මගේ පවුලේ උදවිය මේක කියෙව්වොත් අනික් දවසේ ‍දැකපු තැනකදී පොල්ලක් අරගෙන මට ගහන්න එන්න නම් එපා. මං දැන් හොඳ දරුවෙක්!
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger