Friday, May 16, 2014

Just විකාර!

කෙනෙක් ආදරේ කරන්න ඕන මුලු ජීවිතේටම එකම කෙනෙක්ට විතරමයි කියලා නීති පොතකවත් අඩුම තරමින් ජීවිත පොතේවත් ලියවිලා නෑ. ඒ වුනාට එකම කෙනෙක් මුලු ජීවිතයම කරගත්තු අය මේ ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒ ආදරේ සමහර අයට අයිති වෙලා ඇති. තවත් අයට අහිමි වෙලා ඇති. ඒ ආදරේ හිමි වෙලා තියෙන අය සතුටු වෙනකොට අහිමි වුන අය දුක් වෙනවා ඇති.. එතකොට කවුරු හරි කෙනෙක් ආදරයක් අහිමි වෙලා දුක්වෙන කෙනෙක්ට ආදරේ කරන්න පටන් ගත්තොත්...

එහෙම ආදර කතා මේ ලෝකේ අනන්තවත් ඇති.. එහෙම ආදරයක තියෙන්නේ දුකක්ද සතුටක්ද කියලා වෙන් කරලා හොයාගන්න කොයි තරම් අමාරුද කියලා එහෙම ආදරේක පැටලුණු අය දන්නවා ඇති. එහෙම අමාරුවක පැටලිලා උන්නු කාලයක් මටත් තිබුණා.. ඒ අවුල තව තවත් අවුල් වෙලා කියලා අවුරුදු ගානකට පස්සේ මට දැනෙනකොට ලොකු දුකක් හිතට දැනෙනවා.

මට මතකයි කවුරු හරි මගේ යාලුවෙක් කිව්වා “උඹට කොච්චර කෙල්ලෝ ජීවිතේට හම්බ වුනත් එක කෙල්ලෙක් හම්බ වෙයි, මොන තරම් දේවල් වුනත්, මොන තරම් ආදරේ කරන්න, කරන කෙල්ලෝ උඹට හම්බුනත් ඒ එක කෙල්ලව කවදාවත් අමතක කරන්න බැරිවෙයි. උඹ හිත ඇතුලින් හරි ඒ කෙල්ලට ආදරේ කරයි“ කියලා. මම මේ කියන කෙල්ල සමහර විට ඌ කිව්ව, මගේ ජීවිතේ හැංගුණ කෙල්ල වෙන්න ඇති..

මේ බ්ලොග් එක පුරා ලියවුණු දේවල් වලින් වැඩි කොටසක් තියෙන්නේ ඒ කෙල්ල ගැන වෙන්න පුලුවන්. ඒකපාර්ෂවික වුණු ඒ ආදරේ ගැන වෙන්න පුලුවන්. ඒ වගේම කෙල්ලව මුණගැහුනෙත් බ්ලොග් කෙරුවාවෙන්ම තමයි. නැති වුන ආදරයක් වෙනුවෙන්, ඒ ආදරේ ලැබෙනකම් කියලා බලාගෙන ඉන්න, ඒ නැතිවුන ආදරේට ආදරේ කරන කෙල්ල වැඩි කාලයක් යන්න කලින්ම මගේ හිත ඇතුලට රිංග ගත්තා.

අවුරුදු හතරක්! මෙච්චර කාලයක් තිස්සේ මගේ ජීවිතේ කොයි තරම් දේවල් වෙනස් වුනත්, මගේ ජීවිතේට කොයි තරම් අය ආවත්, ගියත් මගේ හිතින් දුරස් නොවුන කෙල්ල අද වෙනකොට ඇත්තටම මගෙන් ගොඩාක් දුරස් වෙලා. ආයිත් ලඟට ගන්න ඕන වුනත් ඒක කරන්න ගොඩක් දේවල් මගේ ජීවිතෙන් කැප කරන්න වේවි. සමහරවිට එයාගේ ජීවිතෙනුත්. මට මගේ ජීවිතේ කැප කරන්න බැරි දේවල් ගෙඩක් දැන් එකතු වෙලා. දැන් මට කරන්න තියෙන එකම දේ මේ කියන කෙල්ලව අමතක කරන එක! ඒක කරන්න පුලුවන්. එහෙම කරලා උන්නා මම දැන් කාලයක් තිස්සේ.. ඒත් ඇයි අද? සිංදුවක් ඇහුණා. මේ කෙල්ලව මතක් වුනා.. හෙට උදේ නැඟිටිනකොට ආයිත් මේ කෙල්ලව අමතක වෙලා තියෙයි. ඒත් හිතේ කොනක හැංගිලා ඉදී.


මේ දේවල් ලිව්ව එක ගැන මම මේ පෝසට් එක පබ්ලිෂ් කලාට පස්සේ ගොඩක් දුක් වෙන්න වෙයි කියලා මට විශ්වාසයි. මේක කියවන දෙන්නෙක්ගේ හිත් රිදෙයි! සමාවෙන්න. මේ බ්ලොග් එකේ මේ කියන කෙල්ල ගැන මම කතා කරන අන්තිම වතාව මේ. මීට පස්සේ කවදා හරි ආයිත් දෙයක් ලිව්වොත්, මම පොරොන්දු වෙනවා, මේ කෙල්ල ගැන නම් නෙවෙයි. ;-)
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger