අම්මට සිරි..! මිස්ඩ්කෝල්ස් 19..! ෂික් එකක් වත් ඇහුනේ නෑනේ.. කොහේද ඉතින් ආය පෙරේතයා පොලේ ගැහුවා වගේ නින්ද ගියේ... ඊයේ උදේ ඉඳලා මැරීගෙන ප්‍රැක්ටිස් නිසා තාම ඇඟ නිකං මොකදෝ මොකදෝ වෙලා.. ඇස් දෙක ඇරෙන්නෙත් නෑ වගේ.. වෙලාව අටයි විස්සද.... නැත්තං හතයි විස්සද... ම්ම්ම්ම්....අම්මා ගායි ටින් එකෙන්... වෙලාව අටයි විස්සයි...
තිබුණ නිදිමතත් නැති වෙලා ගියා වෙලාව දැක්ක පාර.. ඇයි දෙයියනේ ඒකිට අද ක්ලාස් අටට.. ඒ මදිවට පොත් දෙකම මගේ ළඟ.. අද ඉතින් බඩුම තමා... ඔය ඔක්කම හිතන ගමන් අද අහිංසගේ අහිංසක කම නැති වෙලා මම බැණුම් අහන හැටි සහ සුපුරුදු වදන් ටික දාලා එයාව ෂේප් කරගන්න හැටි මතක් කර කර බාගෙට මූණ හෝදලා බාගෙට කාලා සම්පූර්ණ හැඩ වැඩ වෙලා පාරට පැන්නේ පුලුවන් ඉක්මනින් නුවරට යන්න.. හොහ්... ඒවා කොහේද අපේ පැත්තේ.. බස් එකක් එයි අපිට ඕනෙ වෙලාවට... අඩියට දෙකට පේරාදෙණියට දුවලා ඉස්සෙල්ලාම ආව බස් එකේ එල්ලුනා නුවරට යන්න...
ආ..... හරි ෂෝක් බලු වැඩේ....! මේක යන්නේ ගුඩ් ෂෙඩ් එකට කියන්නේ.. දැන් ඉතින් පලකෝ මාලිගාව ළඟට පයින්... පට්ට සෙනඟ අස්සේ පුලුවන් තරම් වේගෙන් යනකොට තමා දෙමාපියෝ මතක් වෙන්නේ පේමන්ට් එකේ කඩ දාගෙන ඉන්න උන්ගේ.. ඇයි යකෝ හදිස්සියකට යාගන්න බෑ උන් නිසා... කොහොම හරි අවුරුදු දෙකක් ක්ලාස් වල බැහැලා රස්තියාදු ගහලා අතේ ඉරි වගේ දන්න නුවර පාරවල් අස්සෙන් දාලා කොහොම හරි මාළිගාව ලඟට ගියා.. හරි....! දැන් තමා අමාරුම කොටස.. සම්පූර්ණ ආරක්ෂක විධිවිදාන ක්‍රියාත්මක කරලා පාර පනින්න ඕනි.. රාක්ෂණියක් වගේ බලාගෙන ඉන්න හැටි.. අම්මෝ.. මං නිකං අලු වෙලා යනවා වගේ...
ඒ මූණ දිහා බලාගෙනම පාර පැන්නා.. පාරේ මැද හරියෙදී.... "දඩස්..!" කහඉර පුරා හාෆ්ෂීට් පොත් පෑන්.. පොත් කඩයක් ඇගේ හැප්පුනා වගේ... ඒ මදිවට වාහන පෝලිම දැන් හොඳ හැටි.. පොලිස් අංකල් කෙනෙක් විසිල් ගගහා මඟුලක් කරනවා... මේ ලේ කෝප වෙලා ඉන්න වෙලාවේ මේ මල හෝන්තුවත් මගේ ඇගේම හැප්පුනානේ කියලා හිත හිතාම ඇහින්දා පෑන් දෙකක්.. මං ඒ දෙක ඇහිදිද්දී කෙල්ල අනික් ඔක්කම ඇහිඳගෙනත් ඉවරයි..! හික්..
ඒකිත් නරක නෑ.. ස්පෙක්ස් තමා අවුල.. ආච්චිඅම්මගේ දෙකක්ද කොහේද.. පාර මාරු වෙලා අහිංසා ලඟට යනගමන් ආයිත් බැලුවා පාරේ එහා පැත්තෙන් යන ලස්සන පොත් සාප්පුව දිහා..
"මොනවද ඔටුවෝ බලන්නේ?"
"නෑ මුකුත් නෑ"
"අද කීයටද නැගිට්ටේ?"
"මං උදේ 6.30ට විතර නැගිට්ටා.. ඊට පස්සේ පාඩම් කලා හලෝ... වෙලාව යනවා දැනුනෙවත් නෑ..."
"ආ ඇත්තද.. එහෙනම් ඒ පාඩම් ටික දැන් මට කියලා දෙනවා.. ඔයා නිසා අද තුන්වෙනි දවසටත් ක්ලාස් යන්න බැරි වුනා මොට්ටයෝ...!"
"හික්... හරියට මං ඉන්න කිවුවා වගේනේ.. මෙන්න ගන්නවා පොත් ටික.. යන එකයි ඇත්තේ.."
මේං යනවා..... පුහ්! මේකිගේ ලොකු සීන්.. පොත් ටිකත් උදුරගෙන යන හැටි මේ ගෙම්බී.. මොනවා කරන්නද ඉතින්.. මගේ සොඳුරු කරදරයනේ මේ...
"මේ මේ ඉන්නවා හලෝ.. යන දිහාවක එනවා මමත්... මං නැතිව ඔයා කොහේ යන්නද.." පස්සෙන් දුවන ගමන් කෑ ගැහුවට මොකද ඉන්නේ පූජාභූමියක් ළඟ කියලා මතක් වුනේ පස්සේ...
මෙයා වැරදිලාවත් ඔලුව උස්සන්නේවත් නෑ.. හෆොයි..! තාම මේ කෙල්ලගේ නෝ කතා.. නෝ සිනා... මමත් නිකං මොකාදෝ වගේ තනියම කියවනවා...
"මේ.. ලබන සතියේ අපේ ටූනමන්ට් එක.. එනවද බලන්න??"
"දැන් කීපාරක් ඇහුවද ඕක අලියෝ... මං එන්න තමා හිටියේ.. ඒත් එන්න වෙන්නෙ නෑ.. මට වෙන වැඩක් තියෙනවා.."
"ආ.. අයියා එක්ක මාලු බාන්න යන්න වෙන්නැති.. හික් හික්"
"ආ.. හරි හිනා.. මේ හලෝ.. අපේ අයියට මුකුත් කියන්න එපා හරී.."
ආය ඉතින් තරහා වැඩි කිරීම හය වගේ තමා අයියට මොනවා හරි කියනවා කියන්නේ.. ආය කතා නෑ ලේසියකට...
ආයිත් සුපුරුදු තනියම කියවිල්ල...
"මේ හෙට පාටියක් දෙනවද..?"
"ඔයාගේ යාලුවෝ එක්ක මමත් එනවා ගෙදර.. ඉන්නවකෝ.."
"මේ කතා කරන්නෙ නැද්ද අයියෝ... එහෙනම් අර තෑග්ග දෙන්නෙ නෑ.. දෙනවා වෙන කාට හරි.."
ම්හූ.. නෝ කතා..
හෝව්.. හෝව්.... ! දැකලා පුරුදු මූණක් එනවා....
ඈ........ මේං බොලේ අර පොත් සාප්පුව ආයිත් ඉස්සරහාට එනවා... ආවුවුවු...! ඒකිව දැක්ක පාර අහිංසගේ මගේ දිහාට දාපු හොර බැල්ම.. හිහ්.. අපෝ මේ කෙල්ලෝ නම්...ජේ.....!!
ම්ම්ම්ම්ම්ම්ම්.....ආයිත් ඇගේ හැප්පෙනවාද නැද්ද..... එක්කෝ ඕනෙ නෑ... මේ පාර හැප්පුනොත් නම් කනේ පාරවල් දෙකක් ෂුවර්..! එකක් පොත් කඩෙන්.. අනික ඉතින්..............
ඒ කෙල්ල පහුකරගෙන යනවත් එක්කම ඉතින් මටත් නිකං ඉන්න බැරි නිසා පිටිපස්ස හැරිලා බැලුවා.. කට තියන් ඉන්න බැරිවට...
"මේ හලෝ.. අර කෙල්ල මාර ගති නේ..?"
"හුහ්..! එහෙනම් ඉතින් මගේ පස්සෙන් එන්නේ.. යන්නකෝ එයා පස්සෙන්.."
"ඔවු ඉතින් ගියානම් පාඩුත් නෑ වගේ තමා.."
"ඉතිං යන එකයි ඇත්තේ.. මං යනවා බ්‍රිටිෂ්කවුන්සිල් එකට.. ඒකේ ඔය එක එක රිලවු ඇතුලට ගන්නෙ නෑ.."
"ඔව් ඔව්.. රිලවු ගන්නේ නෑ.. රිලවියෝ ගන්නවා ඇති.. ඒකනේ ඔයාට ඇතුලට යන්න දෙන්නේ.."
ෂික්.. අපරාදේ... මේ වෙඩින් බ්‍රිටිෂ්කවුන්සිලේ ලඟට එනකම්ම මතක් වුනේ නෑනේ.. මේකිට ඕක දැක්කාම ඇතුලට යන්නම ඕනි.. ගියාටනම් මොකද.. පැය ගානක් තෝරලා එක පොතක් අරගෙන එනවා මහ ලොකුවට.. ගෙදර ගිහිල්ලා කියවනවාද කියලත් සැකයි වගේ..!
-•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-
2008 මාර්තු 19 වෙනිදා...
හ්ම්ම්ම්.. මතකද..? අවුරුදු තුනකට කලින් ඒ දවස... ඔයාගේ උපන්දිනේට කලින් දවස... මට වගේ ඔයාට මතක නැතිව ඇති සමහර විට... අපි එදා තරම් රණ්ඩු වෙන්න නැතිව ඇති කවදාවත්ම... අර කොහෙවත් යන කෙල්ලෙක් නිසා අපි රණ්ඩු වුන තරම්..!
ඒ උපන්දිනේ තමා ඔයා මමත් එක්ක සමරපු අන්තීම උපන්දිනය.. අවුරුදු පහක් මගේ එක්ක උපන්දිනේ සමරපු ඔයාට දැන් උපන්දිනේ සමරන්න.. ඔයා එක්ක ඒ සතුට බෙදාගන්න ඔයාගෙම කෙනෙක් ඉන්නවා නේද..හෙට ඔයාගේ උපන්දිනේ... මට අමතක නෑ.. අමතක වෙන්නෙත් නෑ...
මම මොනවා කරන්නද වස්තුවේ.. හමුදාකාරයෙක්ට දුව දෙන්න අකැමැති වුනේ නැත්තං ඔයාගේ තාත්තා... සමහරවිට ඔයා තාමත් මගේ ළඟ වෙන්න තිබුණා.. දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ වෙඩි සද්දේ අහගෙන බංකරේ අස්සේ ඉඳන් හඳ දිහා බලාගෙන බිඳිලා ගියපු අපේ හීන වල සුන්බුන් එකතු කරන්න විතරයි.. ඒකත් කරන්නේ කොහොමද... සිහියෙන් හිටියේ නැතිනම් තව එක පාරක් ඔයාව දකින්න පෙරුම්පුරන මගේ ඇස් දෙකට සඳහටම පියවෙන්න වෙයි....... අමතක කරන්න අපේ ඒ අතීතය දැන්... සතුටින් ඉන්න...ඉස්සරටත් වැඩිය....
අන්සතු මගේ අහිංසකීට
සුබම සුබ උපන්දිනයක් වේවා...!!
ප.ලි :- ලිවුව දිගම පෝස්ට් එකද කොහේද... ආ.. අපරාදේ කියවන්න ගිය විනාඩි පහ කියන අය අත උස්සන්න බලන්න....
ප.ලි x 2 :- අනේ මන්දා....!!!
ප.ලි x 3 :- බංකරේ ඉදලා බ්ලොග් පෝස්ට් ලියන්නේ කොහොමද කියලත් අහන්න එපා...