Saturday, October 8, 2011

අපි නම් ඉතින් මතට තිත තියලා.. අපි නිදහස්.. !

ඉස්සර වගේ නෙවේ දැන්... සාපේක්ෂව ගත්තාම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන තරුණ පිරිස බොහෝම අඩුයි වගේ පේ‍න්නේ! ඒකෙත් ඇති වරදකුත් නෑ. අපේ අප්පච්චී කියන විදියටනම් අප්පච්චී තරුණ කාලේදී සිගරට් එකක් කටේ ගහගෙන පාරෙ යන මනුස්සයා හෙන "පොරක්" ලු.! සිගරට් එකක් කටේ තියාගත්ත කොල්ලොන්ට කෙල්ලොත් හෙන ලයික් ලු ඒ කාලේ.. 


මම නවය වසරේ ඉන්නකොට අපේ පන්ති භාරව හිටපු මැඩම් දවසක් ඔය මත්ද්‍රව්‍ය ගැන කිය කියා ඉදලා අන්තීමේටම කිව්වා "කොල්ලනේ... උඹලට බීඩියක්, සිගරට් එකක් බීලා බලන්නම ආසයි නම් අම්මා තාත්තාට කියන්න ඒ ආසාව. අම්මා තාත්තා ඉස්සරහා බීලා බලන්න" කියලා. ඕක අප්පච්චීට කියන්න ගියොත්  ඉතින් සිගරට් එක බීලා බලන්න කට ඉතුරු වෙන එකක් යැ. ඔන්නෝහේ වෙන දෙයක් වෙච්චාවේ කියලා මං අපේ අයියා කෙනෙක්ගෙන් ඉල්ලාගෙන සිගරට් එකක් බීලා බැලුවා. නන්ස්ටොප් කැස්සක්.. :D සිරාවටම කියන්නේ! බොන උන් මොනා කියයිද මන්දා.. මටනම් ඒක "මෙලෝ රහක් නෑ". අයියාත් දුන්නා පට්ටටම ලෙක්චර් එක.. "ඇදපං දුම උඩටම.. ඇතුලට ගියාට පස්සේ දුම ඇතුලේ තියාගෙන කට අරින්න පුලුවන් වෙන්ටෝනෙ දුම එළියට එන්නෙ නැති වෙන්න" ඔය මොන මොන කතා කියලා කොහොම කොරව්වත් මට සිගරට් එකක් කටේ තිබ්බ පළවෙනි දවසේම එපා වුනා! 


ඊළඟට මත්පැන් ටෙස්ට් කරලා බැලුවේ නැත්තං නිකං මදිපාඩුවක් වගේනේ..! ඔන්නෝහේ ඒකත් කරලාම දානවා කියලා ඒ කාලේම ඒකත් ටෙස්ට් කලා. එදා වගේම අදටත් මං ඔය මත් පැන් වර්ග ගැන කියන්න දන්නෙ නෑ. කොහොම හරි පළවෙනි දවසේම ගෙනල්ලා තිබ්බේ සුදු ලේබලේ අලවාපුවාගෙන් එකහමාරක්. මං වගේ නෙවේ හොඳ දක්ෂ ක්‍රීඩකයෝ අතරේ හැමෝගේම ප්‍රීති ගෝෂා මැද මගේ 14 වෙනි උපන්දිනය දවසේ තමා මං පළවෙනියටම මත්පැන් තොලගාලා බැලුවේ! ඒක නම් ටිකක් නැඟලා යන වැඩේ.. දෙකක් තුනක් දාගත්තා.. වැඩි අවුලක් නෑ. කෝම කෝම හරි යන්තම් වගේ භ්‍රමණය වෙනකොට ‍වැඩේ අතෑරියා. හවස ගෙදර යන්නත් එපැයි! සිගරට් අතෑරියාට මොකද මත්පැන් කේස් එකනම් දරුණුවටම නැතත් උසස් පෙල පටන් ගන්නකම් වගේ කරගෙන ගියා. මොකද මගෙත් එක්ක ඒ දවස් වල හිටපු යාලුවෝ වැඩි දෙනෙකුත් ඔය සීන් එකේ හිටි නිසා. ඒකත් උසස් පෙළට ආවාට පස්සේ "එක්කෙනෙක්ගේ" දැඩි විරෝධය නිසා නවත්තලා දැම්මා. හොඳ වෙලාවට අනික් අනික් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා බලන්න හිතුනේ නෑ මට.. ඇත්තටමයි කියන්නේ අද නම් මට ඒ දවස්වල මත්පැන් පාවිච්චි කරාය කියනකොටත් පට්ටම ලැජ්ජයි.. ඒකේ ඇති දෙයක් නෑනේ..!  


මේ හිටපු ගමන් කාටත් වැඩක් නැති මගේ මත්ද්‍රව්‍ය අතීත කථාව ගැන මතක් වුනේ The truth about drugs කියන http://www.drugfreeworld.org/ මගින් නොමිලේ ලබා දෙන පොත් සෙට් එක දැක්කාට පස්සේ. පොත් ටික ලැබිලා කාලයක් වුනාට මොකද ඒ එක්ක ලැබුණ DVD එක ඇරුණාම අනික් ඒවා දිග ඇරලා බැලුවේ අද තමා! ඒකේ තියෙන විස්තර ටිකකුත් කියන්නම්කෝ..






පුද්ගලයෙකුගේ ශරීරයට ඇතුලු කලාම ඔහු ක්‍රියා කරන ආකාරය සිත ආකාරය හා ඔහුට දැනෙන ආකාරය වෙනස් කිරීමට සමත් ආහාරයක් හෝ පෝෂකයක් නොවන දෙයක් මත්ද්‍රව්‍යක් විදියට හඳුන්වලා දීලා තියෙනවා. ඒවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය බවට පත්වන්නේ ඒවගේ භයානකකම මත නීතියෙන් තහනම් කළ පසුවලු. 


මත්ද්‍රව්‍ය ගොඩක් දුරට ප්‍රචලිත වුනේ 1960 වගේ කාලයේ දීලු. ඒකට ගොඩක්ම ජනමාධ්‍ය වගේම සංගීතයත් හේතු වෙලාලු.! ඒ වගේමයි 2004 දී මිලියන 23ක් වුණු ලෝකයේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිස 2008 වෙනකොට  මිලියන 208කට ඉහල නැගලාලු! 


මේ පොත්වල පෙන්වලා දීලා තියෙන, මත්ද්‍රව්‍ය භාවිතයට මිනිස්සු යොමුකරවන හේතු කිහිපයක් මෙහෙමයි..

  • ගැටලු වලින් මිදෙන්න හෝ නිදහස් වෙන්න
  • වෙහෙසකර බවින් මිදෙන්න
  • තමා වැඩුනු කෙනෙක් බව අන් අයට පෙන්වන්න
  • යමකට විරුද්ධත්වයක් පෙන්වන්න
  • මත්ද්‍රව්‍ය අත්හදා බලන්න
මීට වැඩිය පට්ට හේතු දෙයි ඔය මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයගෙන් ඇහුවාම. අර බෙහෙත් පැණියක් බොන සීන් එකක් තිබුණනේ කාලයක්. මගේ යාලුවෙකුත් ඕකට තදින්ම ඇබ්බැහි වෙලා හිටියා. එයා කියන්නේ " මචං.. ඒක ගැහුවාම බං මේ ලෝකේ මාර සුන්දරයි කියලා දැනෙනවා බං.. ගෙදර, පවුල කිසි දෙයක් මතක් වෙන්නෙ නෑ. හෙන සැහැල්ලුයිවක් දැනෙනවා. ඒක කියන්න වචනවත් දන්නෙ නෑ බං මං.. මාර හැඟීමක්" කියලා.. ඒක තමාලු ඒ මනුස්සයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙන්න හේතුව! ඒ වුනාට ඕවා පාවිච්චි කරලා බාගෙට මැරිලා වගේ ඉන්න හැටි දැක්කාම දුකේ බෑ දෙයියනේ! 

මත්ද්‍රව්‍ය පාවිච්චි උදවිය සෑහෙනට බ්ලොග් අවකාශයේ ඉන්නවා නේ? පොඩ්ඩක් කතා කරලා බැලුවානම් ගොඩක් දේවල් දැනගන්න බැරි වෙන එකක් නෑ! :D

පුලුවන් නම් "The truth about drugs" කියන පොත් ටික ගෙන්වගෙන බලන්න. ගොඩක් විස්තර තියෙන ප්‍රයෝජනවත් පොත් සෙට් එකක්. මම ඒ පොත් ගැන විස්තර දැනගත්තේ සිංහල බ්ලොග් එකකින්. ඒත් මට බ්ලොග් එක මතක නෑ. බලෙන්ම මගෙ විස්තර අරගෙන පොත් ගෙන්නන්න ෆෝම් එක පුරවලා දුන්නෙ නදී අක්කා.. :P පොත් ගෙන්වගන්න ඕනි නම් මේ සබැඳියෙන් යන්න.

ඔන්න අපි නම් ඉතින් මතට තිත තිබ්බා.. 
අපි නිදහස්.. 


ප.ලි :- මගේ පවුලේ උදවිය මේක කියෙව්වොත් අනික් දවසේ ‍දැකපු තැනකදී පොල්ලක් අරගෙන මට ගහන්න එන්න නම් එපා. මං දැන් හොඳ දරුවෙක්!

Monday, July 25, 2011

ආ...... හෙට මට exam එකක්ද?


  • BIS FINAL EXAM දවසේ හවස..

මම - මචං.. ෆට්ට චාටර් බං පේපර් එක... රිපීට් තමා.. ඊළඟ එක එලට පාඩම් කරලා දාගමු බං..
යාලු‍වා - අනිවා මචං.. සිරාවට පාඩම් කරමු.. පුලුවන් වෙලාවට සෙට් වෙලා කුප්පියක් දාමු..
  • ඊට පස්සේ දවසේ..

යාලුවෙක් - මචං exam 26 නේ.. තව සති දෙකක් විතර තියෙනවා.. ගහමු බං මැච් එකක්..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
යාලුවෙක් - ගහමු..
  • මැච් එක දවසේ හවස..

අයියා කෙනෙක් - යකෝ තොපි පාඩම් කරමු කිවුවා නේද? කරන්නේ නැද්ද?
මම - කරමු කරමු අයියා.. තව කල් තියෙනවානේ...
  • සතියකට පසු...

මම - Java Past papers ගන්නෝනි බං.. සල්ලි නෑ..
යාලුවා - හෙට ගමු බං..
  • එදින ගෙදර ආ පසු..

පේපර්වත් නැතිව මොන පාඩම්ද.. හෙට පේපර් ටික අරගෙනම පාඩම් කරනවා..

  • පසු දින

මම - මචං පේපර් ටික ගමුද?
මචං - ගමු..

  • පේපර් අරගෙන ගෙදර ආ පසු..

මහන්සී.. පස්සේ කරනවා...

  • එදින සිට දින කිහිපයක් යනතුරු..

පේපර් ටික පස්සේ කරනවා... කොහොමත් තව කල් තියෙනවානේ...

  • විභාගයට දින දෙකකට පෙර

අනිද්දානේ විභාගේ.. හෙට පාඩම් කරනවා...
අද ටිකක් ෆේස්බුක් එකේ ඉන්නවා...

  • විභාගයට පෙර දින උදේ..

යාලුවා - මචං පාඩම් කරන්න ____ එකට වරෙන්..
මම - වහිනවා බං කම්මැලී.. මම ගෙදරට වෙලා පාඩම් කරනවා..

  • එදින දවල්..

හරියට 6ට පාඩම් කරන්න ගන්නවා..

  • එදින සවස 6ට..

තව ටිකකින් කරනවා..

  • එදින රාත්‍රී 9.30ට ෆේස්බුක් එකේදී
මම - මචං පාඩම් කලාද?
යාලුවා - නෑ බං.. :D
මම - හෙට උදේ පාඩම් කරනවා බං.. දැන් මේ බ්ලොග් පෝස්ට් එක දාලා නිදාගන්නවා...

හෙට ලියන්න ගියාට පස්සේ........ 



Sunday, July 24, 2011

අනඟ බඹරාට ළමයාගෙන් මෙව්වා එකක්..


ශ්‍රී ලාංකීය ගීත සාහිත්‍යයේ දී අපට දක්නට ලැබෙන ඉතාමත් කාලීන ලෙස ලියැවුණු ගීතයක් ලෙස, වර්ථමානයේදී බොහේ දෙනෙකුගේ සිත්ගත් ගායකයෙකු වන දුෂාන් ජයතිලක මහතා ගායනා කරනු ලබ "අනඟ බඹරා" ගීතය පෙන්වාදිය හැකිය. වර්ථමාන සමාජයේ බොහෝමයක් තරුණයන්ගේ ජීවන රටාවේ එක් පැතිකඩක් අලලා නිර්මාණය කරන ලද මෙම ගීතය "මතකයන්" නම් වූ ගීත ඇල්බමයට ඇතුලත් කර තිබෙණුයේ ඇතැම් විට දුෂාන් ජයතිලක මහතාද මෙම "අනඟ බඹරා" නම් ලේබලයට අයත් වූවෙකු වන නිසා ද විය හැකිය. සියුම් හාස්‍යයක් මෙන්ම තරුණියන් කෙරෙහි ව්‍යංගයෙන් කිසියම් පණිවුඩයක් ලබා දීමට සමත් ගීතයක් ලෙසද මෙම ගීතය සැළකිය හැකිය..


     "සිතිච්ච හැමවිට පිපිච්ච මල් වෙත බඹර රැඟුම් දමනා
      සැදිච්ච දිව අග පිපිච්ච පෙම් බස් මලට සෙමින් පවසා
      මලේ තුරුණු පෙම සෙමින් උරාබොන
      ඔන්න අනඟ බඹරා
      ඔන්න අනඟ බඹරා

ගීතයේ ආරම්භයේදී සිටම ශ්‍රාවකයා තුල සෙල්ලක්කාර තරුණයෙකුගේ චරිත ස්වභාවයක් සිත්තම් කරවමින් ශ්‍රාවකයා තුල "අනඟ බඹරෙකු"ගේ චිත්ත රූපයක් ශ්‍රාවකයාට ලබාදීමට මෙම පද පෙල ඇසුරෙන් ගීත රචකයාට හැකිවී ඇත. "මලේ තුරුණු පෙම සෙමින් උරාබොන" යන කොටස තුලින් ගීත රචකයාගේ උත්සාහය වන‍්නේ, අනඟ බඹරා කෙරෙහි සිත් බැඳි තරුණියට සිඳුවන්නා වූ අකටයුත්තක් ගැන ප්‍රකාශ කිරීමටදැයි දැයි සිතිය හැක.. එමෙන්ම "අනඟ බඹරා" වැනි යෙදුමක් දක්වමින් එම සෙල්ලක්කාර බව වඩාත් ඉස්මතු කරමින් ශ්‍රාවකයාට ඉදිරිපත් කිරීමට ගීත රචකයා උත්සුක වූ බවක් ද මෙහෙදී දැකිය හැක. දකින දකින රූමතියන් කෙරෙහි ලොල් බැඳ ඔවුන් රවටන ආදර බස් තෙපලමින් එම රූමතියන් තමා වෙත ආකර්ශනය කරගෑනීමට සමත් වන්නා වූ තරුණයෙකු ශ්‍රාවකයා ඉදිරියේ මවා පෑමට ගීත රචකයා විසින් දරන්නා වූ පළමු උත්සාහය ඉතාමත් සාර්ථකය.

     "හිසට නොයෙක් වද දෙමින් දමා හැඩ තදට ඩෙනිම ඇඳලා
      අනුන්ගෙ වාහන තමන්ගෙ වගෙ ගෙන ඉගිල යනෙන බඹරා
      නගේ නොවෙයි ඉඩ නුඹේ හදට විද රිඳුම් ගෙනෙයි බඹරා
      රිඳුම් ගෙනෙයි බඹරා
      රිඳුම් ගෙනෙයි බඹරා

දුෂාන් ජයතිලක මහතා විසින් ගායනා කරනු ලබන මෙම අනඟ බඹරා ගීතයේ දෙවැනි කොටසේදී ගීත රචකයා තම පූර්ණ උත්සාහය යොදා තිබෙණුයේ පෙර කී අනඟ බඹරාගේ පිට ඔපය පිළිබදව ඉදිරිපත් කිරීමටය. "හිසට නොයෙක් වද දෙමින් දමා හැඩ තදට ඩෙනිම ඇඳලා" යන පද පෙල තුලින් ගීත රචකයා, වර්ථමාන තරුණයින්ගේ විලාසිතා කෙරෙහි සියුම් පහරක් එල්ල කර ඇත.  "අනුන්ගෙ වාහන තමන්ගෙ වගෙ ගෙන ඉගිල යනෙන බඹරා"  පද ‍මෙම ගීතය‍ට ඇතුලත් කරමින් ගීත රචකයා නැවතත් ඇතැම් තරුණයන් වෙත සියුම් පහරක් එල්ල කර ඇත. කෙසේ වෙතත් අනුන්ගේ වාහන තමාගේ ලෙස රඟ දක්වමින් කෙල්ලෙක් අල්ලා ගැනීම පහසු වන්නේ කෙල්ලන්ට කොල්ලාට වඩා වාහනය වැදගත් වන නිසා යන්නද ගී රචකයා මෙහිදී ව්‍යංගාර්ථව ඉදිරිපත් කර තිබීම සතුටට කරුණකි. (විචාරකයාද අනුන්ගේ වාහන තමන්ගේ ලෙස පෙන්වමින් රවුන් ගසනා බැවින් මෙම පද පෙල ඇසී මඳක් කෝප වී ඇති බවක් පෙ‍නේ.) ගී රචකයා අවසන් පද පෙල තුලින් කියා පෑමට උත්සාහ කරනු ලබන්නේ මෙවන් වූ සියලූම අනඟ බඹරුන් නඟාලාට දුක් ගෙනෙනා බවයි. නමුත් මෙම පද පෙල අසාර්ථක පද පෙලක් ලෙස මම දකිනුයේ සියලූම බඹරුන් එලෙස දුක් ගෙන නොදෙන නිසාත් දුකට පත්වන්නේ  නඟාලාම නොවන නිසාත්ය. 

     "සිතින් සිතට පැන හදින් හදට දුක දෙමින් පනින බඹරා
      හොටේ ඇනෙන ලෙස කෙසෙල් ගසට ඇන අනේ වලක වැටිලා
      තවත් ඉතින් අර පරණ අනඟ වැඩ නොකර ඉඳින් බඹරා
      නොකර ඉඳින් බඹරා
      නොකර ඉඳින් බඹරා

ගීතය අවසන් කරමින් රචකයා උත්සාහ කරනුයේ සියලුම "අනඟ බඹරුන්" හට උපදේශක් ලබා දීමටය. "මලින් මලට පියාඹන්නා වූ බඹරුන් මෙන් දකින දකින කෙල්ල පසුපස නොයා හිටපං" යන උපදේශය රචකයා මෙහිදී ඉදිරිපත් කීරීමට උත්සාහ කලද, එය ඉදිරිපත් කරනු ලබ ආකාරය අසාර්ථකයයැ මෙහිදී දැක්විය හැක. ගසින් ගසට කොටනා කොට්ටෝරුවාගේ හොටය කෙසෙල් ගසක පැටලෙන බව කිව හැකි වුවත් මලින් මලට පියඹන බඹරෙකු කෙසෙල් ගසකට විදිනු ඇතැයි සිතිය නොහැක. එම නිසා ගීත රචකයා එම අවස්ථාන නිරූපණයේදී යොදා ගනු ලැබූ නිදසුන අසාර්ථකත්වයකට පත්වුවද ගීතයේ රසය කෙරෙහිවත් ගීතයෙන් සම්ප්‍රේශනයට උත්සාහ දරණු ලබන පණිවුඩයටවත් මෙමගින් හානියක් සිදුවී නොමැති බව ප්‍රකාශ කළ යුතුය.


දුෂාන් ජයතිලක මහතා විසින් ගායනා කරනු ලබන මෙම අනඟ බඹරා ගීතය සමස්ථයක් වශයෙන් ගත් කළ සාර්ථක නිර්මාණයක් ලෙස හැදින්විය හැකිය.  එමෙන්ම තරුණ තරුණියන් කෙරෙහි වැඳගත් පණිවුඩයක් ලබාදෙන ගීතයක් ලෙසද මෙම ගීතය හැදින්විය හැකි වේ. මෙම ගීතය අනඟ බඹරු‍න්ගේ හා එම අනඟ බඹරුන් වසා සිටිනා මල් වලට තේමා ගීතය ලෙස නම් කිරීමට හැකි නම් මම කැමැත්තෙමි..





ප.ලි. - මෙම ගීත විචාරකයාට සයිබර‍යේ ආඩම්බරකාරිය විසින් එල්ල කරනු ලැබූ මඩ ප්‍රහායක් හා ඇයගේ ඉල්ලීමක් මත මෙම මෙව්වා එක සටහන් කරන ලදී.. :D :D

Saturday, July 23, 2011

ළමයත් ඡන්දේ දැම්මාලු..!

අද ඉතින් මං ළමයාට මාර සතුටු දවසක්ලු.. අවුරුදු 20ක්ම බලාන ඉන්න වුනානේ ඡන්දේ කියන එක පාවිච්චි කරන්න.. ඔන්න ඉතින් අද ඒක කෝම හරි කරලා දැම්මා.. ඉතින් දැන් ප්‍රාදේශීය සභා ඡන්දෙට ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ ගම්පලාතෙම පොරවල්නේ..


අද ඉතින් උදේ පාන්දර අටට නවයට විතර නැගිටලා එහෙට මෙහෙට කැරකි කැරකි ඉදලා දහයට විතර ඡන්දේ දාන්න කියලා ඡන්දපොලට ගියා.. ඔන්න යනකොට ඉන්නවා දැකලා පුරුදු මූණක්.. මේ දවස් වල ඉතින් කොයි ඡන්ද අපේක්ෂකයාගේ මූණද දැකලා පුරුදු නැත්තේ.. පොල්ගහක් බැලුවොත් ඒකෙත් ඉන්නවා.. ලයිට් කණුවක් බැලුවොත් ඒකෙත් මේ මිනිස්සු ඉන්නවානේ.. කෝම හරි ඉතින් ටිකක් ලංවෙලා බල‍නකොට ඉන්නවා ඡන්දපොලේ ගේට්ටුව ලඟ ඩයල් එකක්.. පට්ට දැකලා පුරුදු.. අම්මා ගායි බැට් එකෙන්.. ඔන්න දැන් හොඳටම මීටර් මේ කවුදැ කියලා... මේ ඉන්නේ අපේ ඉස්කෝලේ හිටපු හෙඩෙක් නේ!! මාරේ අයියා!


දැන් ඉතින් මූ ගේට්ටුවෙන් ඇතුලට යන එවුන්ට හතරට පහට නැවි නැවී මොනාද මොනාද කියනවා.. ඉස්කෝලේ ඉදිද්දිත් කලේ ඕක‍මනේ.. ඔහොම කරලා තමා ප්‍රධාන ශිෂ්‍යනායක පට්ටම ගත්තේ.. අපි නොදන්න හෙඩා.. ඕං ඕකත් එක්කම මට තවත් පරණ සීන් එකකුත් ලාවට මතක් වුනා ‍මාරේ ගැන.. ඕවා හිත හිතා ගේට්ටුව ලඟට යනකොටම..


මාරේ අයියා - ආ.. මල්ලී.. මාව මතකනේ.. 
මං ළමයා - නැතුව නැතුව මාරේ අයියා.. 
මාරේ අයියා - එහෙනම් අංකේ මතකනේ.. මනාප තුනම දෙන්ටෝනේ..
මං ළමයා - නැතුව නැතුව.. 21 නේ.. 
මාරේ අයියා - අපිත් ඉතින් සළකන්නම්.. ගිහින් වරෙන්කෝ එහෙනම් ඡන්දේ දාලා..


ඔන්න ඉතින් මම ඡන්දේ දාන තැනට ගිහින් පෝලිමේ ඉදලා ID එකයි කොලෙයි දුන්නා..


අංකල් - 138..... දෙව් ලොවින් පැමිණි ළමයා..


ඔන්න නම කියලා කොලේ ඉරලා ID එක මට දුන්නට පස්සේ ලස්සන ආන්ටි කෙනෙක් මගේ ඇගිල්ල පාට කරා.. සෝයි අක්කා කෙනෙක් කතිර ගහන කොලේ දුන්නා මට.. මට ඉස්සරහින් ගිය පොර මොකක්ද හුට්ටප්පරයක් කරගෙන ඡන්දේ ලකුණු කරන පෙට්ටිය අස්සේ ඔලුව දාගෙන දගලන අස්සේ මම ඡන්දේ ලකුණු කරන්න බලාගෙන ඉදිද්දී මගේ මතකය ආයිත් අතීතයට දුවලා ගියා..





----------------------------------------------------------------------------
වසර හයකට පෙර..


(පාසලේ විශේෂ නිවේදනයකට පෙර වාදනය කරන ශබ්දය යකඩ කටින් ඇසේ)


ප්‍රින්සිපල්තුමා - අද දින 12.45ට ආරම්භවන ගුරු රැස්වීම සඳහා සියලුම ගුරුවරුන් ප්‍රධාන ශාලාවට පැමිණෙන්න. ශිෂ්‍යනායකයින් තම තමන්ට අදාල පංති නිශ්ෂබ්දව තබාගන්න..


අපේ පන්තිය භාරව හිටපු ශිෂ්‍යනායකයා නැති නිසා හොඳට කෑගගහා ඉන්න අස්සේ "ටොඃ" ගාලා පිටිපස්සෙන් වැදුන ටොක්කක් නිසා මට උන් හිටිතැන් අමතක වුනා.. ‍හැරිලා බලද්දීම පුරවලා කනේ පාරකුත්..! අම්මේහ් හෙඩා.. මාරේ අයියා...


----------------------------------------------------------------------------


ඕක මතක් කර කර ඉන්න අස්සේ මට කලින් හිටිය පොර චන්දේ දාලා ගියා.. මම ගිහින් දැන් පෙට්ටිය අස්සේ ඔලුව දාගෙන කල්පනා කරා 21ට චන්දේ දෙනවද... නැද්ද.... අනික මේකා අලුත් කොල්ලා දේශපා‍ලනේට.. පරණ තරහකුත් තියෙනවා මූ එක්ක.. මේකා ඉස්කෝලෙදී කරපු වැඩවල හැටියට ඡන්දේ දිනුවාම මොනවා නොකරයිද.. හික්.. ගහලා ඇරියා අංක 9ට මනාප තුනම..! අපේ අම්මගේ ගෝලයෙක්.. ඌ නම් දැන් කාලෙක ඉදලා දේශපාලනේ.. වැඩක් කරපු පොරක් අපේ පැත්තට.. :D (කුරුටු ගාන්න හිතාගෙන ගියේ ඉතින් කොලේ.. කවියක් හෙම ලියලා එන්න හිතාන.. ක්ෂණික ගත්තු තීරණයක් අනුව තමා 9ට ගැහුවේ..)


ඔන්න දැන් එළියට එනකොට ඉන්නවා මාරේ අයියා ගේට්ටුව ළඟ..


මාරේ අයියා - මල්ලී වැඩේ හරිනේ..
මං ළමයා - අනිවා අනිවා... මනාප 3ම දුන්නා.. 

මාරේ අයියා - එලකිරි මලයා.. එහෙනම් පස්සේ සෙට්වෙමු..
මං ළමයා - හරේ.. මං ගියා හේනම්.
.



මෙන්න ටිකක් එහාට යනකොට ඉන්නවා අංක 9 අපේ අම්මා එක්ක කතාවකුත් දාගෙන..


අංක 9 - මල්ලී.. එහෙනම් හරි නේ නේද?
මං ළමයා - ආය මොනාද අයියා මම අම්මටත් කියලාම ගියේ.. 9 තමා කියලා.. :D


මුං දෙන්නා සෙට් වෙලා කතා කරා ද දන්නෙ නෑ.. "මචං අර මල්ලී මට මනාප 3ම දීලා බං".. කියලා.. :P


එහෙම වුනොත් සමහරවිට හෙට අනිද්දා මාව බලන්න එන්න වෙයි ඔහේලාට.. :D


ප.ලි.- කලින් අර මෙව්වා එකක් ලියන්න පටන් ගත්තට ඒක ලියන්න තරම් මගේ හිතට මෙව්වා එකක් නෑ. ඒක නිසා ඒක ගෙට ගත්තා.. සමවෙන්ටෝනේ..



Wednesday, May 25, 2011

අපි මෙහෙමයි ගෲප් ප්‍රොජෙක්ට් කරන්නේ..

දවසක්...

  • ගුරා - Internet technology කරපු පාඩම අදින් ඉවරයි.. දැන් ඔයාලා කැමති Organization එකක් අරගෙන ඒකට ගැලපෙන website එකක් හදන්න. මේ පාඩම් වල තිබ්බ ඔක්කම cover වෙලා තියෙන්න ඕනේ.. Project එකට කැමති යාලුවෝ 4 දෙනෙක් එකතු වෙන්න. සතියක් ඇතුලත වැඩේ කරලා තියෙන්න ඕනේ. Final exam එකට මේකෙන් ලකුණු 40ක් දෙනවා..
එදා හවස
  • මම - මචං කොටා උඹ වරෙන් අපේ ගෲප් එකට..
  • කොටා - ආ.. එල.. පට්ට.. 
  • මම - පුෂ්පෙ උඹත් වරෙන් අපේ එකට..
  • පුෂ්පේ - මම interface එකේ වැඩ ටික කරන්නම්..
  • මම - එල.. බුද්ධියා උඹත් එහෙනම් සෙට් වෙයන් අපිට..
  • බුද්ධියා - හරේ.. නම ලියාගනිං..!
පලවෙනි දවස

අපි Flower export කරන company එකකට site එකක් කරමු..
  • මම - මේ ‍කොටා.. උඹට පුලුවන්ද Javascript ටික ගොඩදාගන්න? පොඩ්ඩක් හැඩ වැඩ දාලා... බුද්ධියා PHP ටික කරන්නම් කීවේ.. මමත් දෙන්නම් හෙල්ප් එක...
  • කොටා - අඩෝ මම PHP කරන්නම් බං.. බුද්ධියාට දීපං Javascript..
  • බුද්ධියා - දන්නවානේ.. මට ඕනේ එකක්..! ආය ලොවෙත් නෑ...
  • මම - එහෙනම් හරිනේ.. පුෂ්පේ ග්‍රැෆික්.. බුද්ධි Javascript ටික.. කොටා PHP. මම අනික් වැඩ ටික කරනගමන් දෙන්නම් හෙල්ප් එක..
දෙවෙනි දවස
  • බුද්ධියා    ╗
  • පුෂ්පේ      ╠ හරි හරි මචං කරගෙන යනවා....
  • කොටා     ╝
තුන්වෙනි දවස
  • බුද්ධියා - Javascript ටික අවුල් වගේ බං.. පුලුවන් නම් කරපංකෝ.. අර Images වලට දාන වැඩ කෑලි ටික අවුල් වගේ බං...
  • මම - හරි බලන්නම් මචං මම.. පුෂ්පේ.. වැඩේ කොහොමද.. අවුලක් නෑනේ..?
  • පුෂ්පේ - හරි හරි මචං කරගෙන යනවා....
  • මම - කොටා?
  • කොටා  - ගින්නක් නෑ මචං.. දැනටමත් register page එක හදලා ඉවරයි!
හතරවෙනි දවස   
  • මම -  කෝ බං බුද්ධියා..? මේ හරකා Javascript ටික කරන එකත් මට දැම්මා.. අද මේකා ඇවිල්ලත් නෑ..
  • කොටා - ඒකනේ මේකනම් මාර *@$%..!
  • පුෂ්පේ - (කොහේදෝ සිට කඩාපත්වී) මේ මචං.. මාර කේස් එක බං.. අපේ අත්තම්මා නැති වෙලා.. මෙතන තියෙනවා Edit කරපු pics දෙකක්.. ඒ දෙකත් දාලා ඉන්ටෆේස් එකේ වැඩේ ගොඩදාපං මචං.. මට මලගෙදර යන්න වෙලා..
  • මම - ආ හරි මචං.. මම බලන්නම්....
පස්වෙනි දවස
  • බුද්ධියා - කොහොමද බං වැ‍ඩේ.. ඊයේ එන්න බැරි වුනා බං බඩුවත් එක්ක පොඩි ගමනක් ගියා..
  • මම - අවුලක් නෑ බං කරගෙන යනවා..
  • කොටා - මේ ඕයි.. මට මේ ටික තේරෙන්නේ නෑ බං.. login page එක හදලා database ටිකත් හදලා දපංකෝ connect කරපංකෝ.. උඹට පුලුවන්නේ ඒ ටික?
  • මම - හරි මචං.. කෝ උඹ හැදුවා කිවුව register page එක?
  • කොටා - ඒක චාටර් බං.. උඹම හදපංකෝ ඒකත්...
  • මම -  Ok මචං..
හයවෙනි දවස 
  • මම - (lectures නොයා ගෙදරම ඉඳිමින් ඉරාගෙන project එකේ වැඩ නිමා කරමින්...)
හත්වෙනි දවස හෙවත් The Last Day
  • බුද්ධි - මචං වැඩේ හරිද?
  • මම - එළ.. මම අද උදේ පාන්දර වෙනකම් වැඩ කරලා හදලා ඉවර කරා බං..
  • කොටා - මචං අපේ ප්‍රොජෙක්ට් එක ගොඩ නේ?
  • මම - අනිවා.. දන්නවානේ ඉතින් මේ කොල්ලාගේ වැඩ..
  • පුෂ්පේ - (කෝල් කර) මචං මම මලගෙදර ඉන්නේ.. වැඩේ කොහොමද?
  • මම - හරි මචං අද දෙනවා..

එදා හවස
  • ගුරා - කෝ බලමු චතුවාගේ ගෲප් එකේ වැඩ..
  • මම - (pen එක කොම්පූටරේට ගසා හැදූ සයිට් එක පෙන්නමින්..)
ගුරාගේ ටෙස්ටින් වලට පසු
  • ගුරා - නරක නෑ. එරර්ස් එහෙමනම් හම්බ වුනේ නෑ කෝඩ්ස් වල. හොඳට කරලා තියෙනවා.. interface එකනම් ටිකක් user familiar මදි.. කමක් නෑ.. ගෲප් එකේ අයගේ නම් කියන්න
  • මම - දෙව් ලොවින් පැමිණි ළමයා
  • ගුරා - අනික් තුන්දෙනා..
  • මම - මම තනියම හැදුවේ සර්...
(කොටා සිටි පැත්තේ සිට වේගයෙන් කාගෙදෝ පොත් බෑගයක් මගේ ඔලුව දෙසට පියාඹා එනවා මෙන් යාංතමට දුටිමි..)


ප.ලි :- මේක මම පොර වෙලා ලිව්වාට ඇත්තම කිව්වොත් මෙතන වැඩ කලේම වෙන එකෙක්. :D

Thursday, May 19, 2011

බලාපොරොත්තු ගොඩක් ඉතිරි වුනු ඔහුගේ නික්ම යෑම..

මේ පෝස්ට් එක කොච්චර නොලියා ඉන්න හිතුවත් නොලියාම ඉන්න බැරි වුනා.. ඇත්තටම මං මේක ලියන්නේ හිතේ හිර වෙලා තියෙන ලොකූ දුකකින් එක දශමයක් හරි අඩු කරගන්න හිතාගෙන. හරිම පුදුම වෙන්වීමක් මටනම් මේක. "ඉලංදාරියා නැතිවෙලා කියන්නේ ඇත්තද?" කියලා නදී අක්කා අහද්දී මං ඇත්තටම විශ්වාස කලේ නෑ. චේතන, හම්තුම් කියද්දී පවා මම මේක විශ්වාස නොකලේ ඇත්තටම ඒක එහෙම වෙන්න තිබුණු මරණයක් කියලා මගේ හිත විශ්වාස නොකරපු නිසා. ඒත් මොනවා කරන්නද.. ඉපදුනානම් මැරෙන්නත් ඕනි. මැරෙන්නේ අපිට ඕනි වෙලාවටයැ.. 


මේ දේවල් අහපු වෙලාවේ ඉඳලා ලොකු පසුතැවීම් දෙකක් හිතේ තියෙනවා මගේ.. දැන් ප්‍රමාද වැඩී. පසුතැවීම් දෙකම හැමදාමත් මගේ හිතේ තියාගෙනම ඉන්න තීරණය කලා. ඒත් එක් පසුතැවීමක් යන්තමට හරි නිවැරදි කරගන්න මම කොහොම හරි කටයුතු කරනවා. අද දවස ති‍ස්සේම ඉලංදාරියා ගැන මතක් වෙනකොට මට අමතක කරන්නම බැරි දවසක් වුනේ සයිබරයේ සිහින බක්මහා සැණකෙලිය දවස.


උදේ වෑන් එකට නැගපු වෙලාවේ ඉඳලා තොරතෝංචියක් නැතිව කියවපු දිලුම් අයියා.. ට්‍රැෆික් අයියා කෙනෙක් වෑන් එක නවත්තපු වෙලාවේ කියපු කතා ගොඩ.. 


එදා ඒ කිවුව දේවල් වල කොයි තරම් බලාපොරොත්තු තිබුණාද.. මහනුවර පලාතේ සිංහල බ්ලොග්කරුවන් වෙනුවෙන් අලුතෙන් සංසදයක් පටන්ගන්න ගොඩ කාලෙක ඉදලා බලාපොරොත්තුවක් තිබිලා දිලුම් අයියා ගැන. "මල්ලී.. ඉදපංකෝ.. මට හොඳ වුනාම වැඩ පටන් ගමු.." තාමත් මට ඇහෙනවා ඒ වචන.. නුවර ඉස්කෝල වල සම්මත්‍රණ තියලා බ්ලොග්කරණය ව්‍යාප්ත කරන්න, නුවර බ්ලොග්කරුවන්ගේ හමුව දවසට නුවර පුරා කොඩි දාන්න, කොයි තරම් වැඩ ගොඩක්ද...


ඇයි මේ වෙසක් එකට .info ඩොමේන් දන්සැලක් දෙමුයි කියලා කියෙවුවා නේද? සර්වර් එක පුරවන්න ඕනි කියලා.. වෙසක් එකට ඩොමේන් දන්සැල දෙන්න හිටපු උඹ අද..... 


ආය හිතේ තිබුණු තවත් බලාපොරොත්තුවක්.. අකීකරු සිත ලියන වරුණි අක්කට උදව්කරන්නත් ලොකු බලාපොරොත්තුවක් තිබුණා.. මාව මුණගැහුන දවස් දෙකේදීම ඒ අක්කට උදව් කරන්න ඕනි කියලා කිවුවා. ඒත් අයියේ මේවා කරන්න කෝ අද උඹ අපිත් එක්ක?


කියපු දේවල්.. හිතේ තිබුණු බලාපොරොත්තු කොයි තරම්ද ඔයාගේ හිතේ.. අපිත් උත්සාහ කරන්නම් ඒවා ඉටුකරන්න.. ඔයා අපි එක්ක නැතිවුනත්.. අපේ හඳවත් වල හැමදාමත් ඉදීවි..






ඉලංදාරියෝ... උඹට නිවන්සුව අයියේ..!!


ප.ලි -ඡායාරූපය ලබා දුන් බුද්ධි අයියාට විශේෂ ස්තූතිය.. 



Friday, May 6, 2011

මම එයා සහ අරයා..

එයා - මේ....
මම - ම්ම්ම්ම්...
එයා - මං දෙයක් අහන්න ඇත්තම කියනවද..?
මම - හ්ම්ම්ම්....
එයා - ඔයා ඇත්තටම අරයට ආදරේද?
මම - කාට??
එයා - අර  දැන් හැම වෙලාවෙම කෙල්ලෙක් ගැන කියවන්නේ.. එයාට..
මම - හ්ම්ම්ම්ම්ම්...
එයා - කොච්චරක්..??
මම - මෙච්...චරක්...
එයා - එතකොට මෙච්චර කාලයක් මට ආදරේ කලේ නැද්ද?
මම - කළා..
එයා - දැන්?
මම - කරනවා..
එයා - එතකොට අරයා...
මම - එයාටත් ආදරේ..
එයා - මෙච්චර කාලයක් මං ගැන බ්ලොග් ලිවුව ඒවා..?
මම - එයා ගැනත් ලියනවා..
එයා - මෙච්චර කාලයක් මට කිවුව ඒවා..?
මම - එයාටත් කියනවා..
එයා - ඇයි එයාටත් ආදරේ??
මම - ඔයාගෙන් ඈත් වෙන්න..
එයා - මගෙන් ඈත් වෙන්න.. ඇයි ඒ?
මම - ඔයා මට ආදරේ නෑනේ..
එයා - කවදාවත් ඔයා කිවුවද මට ආදරේ කියලා..?
මම - නෑනේ.. මං දන්නවානේ වෙන්නේ නෑ කියලා..
‍එයා - කොහොමද දන්නේ?
මම - ඔයා වෙන කෙනෙක්ට ආදරේනේ 
එයා - ඉතින් මගෙන් ඈත් වෙන්න අරයට ආදරේ කරන්නේ.. අරයට ඇත්තටම ආදරේ කරන්නේ නැද්ද?
මම - කරයි..
එයා - නපුරුයි ඔයා..
මම - නෑ..‍ ගොඩක් ආත්මාර්ථකාමී මම..

Tuesday, April 5, 2011

සැණකෙලියේ................??

ඊයේ මං අලුත් තියරියක් ඉගෙන ගත්තානේ.. ඒක මට කියලා දුන්නේ අපේ සයිබරයේ සිහින කුමරු ‍වන චේ උන්නැහේ විසින්.. මම ඒ තියරිය අනුව යමින්ම මේ පෝස්ටු ලියන එක මගේ සුබ අනාගතයට හොඳයි කියලා මම හිතනවා.. මේකයි තියරිය.. "කවුරු හරි තමන්ට මඩ ගහන්න පටන් ගත්තොත් තමනුත් තමාටම මඩ ගසා ගැනීම" 


ඔන්න ඉතින් ඊයේ උදේන්ම නුවරින් පිටත් වෙන්නනේ කස්ටිය සූදානම් වුනේ.. ඕං ඉතින් මං කොල්ලා උදේ පාන්දර 2.30 විතර අමාරුවෙන් නැගිටගෙන එහෙම ලෑස්ති වෙලා 3.30 විතර වෙද්දී මම වෑන් එකට නගින්න නියමිත තැනට සම්ප්‍රාප්ත වුනා.. එතකොට ඕං වෙලාව ඇති 3.45ට විතර. දුන්නා කෝල් එකක් ප්‍රියන්ත අයියට..


"අයියා කොහේද ඉන්නේ..?"
"මල්ලී තාම ගෙදර.. වෑන් එකේ ඩ්‍රයිවර් කෝල් කලේ නෑ තාම"


හුටා.. කෙලියා තාප්පෙට.. මල සීන් එකයි.. ඊට පස්සේ ඉතින් ඉන්නවා ඉන්නවා ඉන්නවා.. නිකංම ඉන්න බැරි එකේ ඒ ලග තිබුණු කඩේකට ගිහින් කලාතුරකින් ගන්න පාන්දර කෑම වේලත් අරගෙන යාන්තං පැයක් විතර ඉදිද්දී ඕං කෝල් එකක් එනවා ප්‍රියන්ත අයියගෙන්..


"මල්ලී පාර පැනලා ඉන්න. ආව ගමන් වෑන් එක නැවැත්තුවා, දාගත්තා ගියා"
"හරි අයියා.."


මමත් ඉතින් දැන් පාර පැනලා ඉන්නවා.. එක පාරටම.... සුදු වෑන් එකක් ආවා.. එක පාරටම පිටිපස්සේ දොර ඇරියා.. මං බය වුනා පැහැර ගන්නවත් කවුරුත් ඇවිල්ලා කියලා.. බලද්දී මේ නුවර න‍ඩේ නේ.. ඔන්න දැන් නියමම සීන් එක.. මම වෑන් එකට නැගලා වෑන් එකේ පිටිපස්සේ ෂීට් එකට යන්න ඕනි.. දොරත් එක්කම තියෙන ෂීට් එක බවලත් උදවිය බුක් කරලාලු.. ඔන්න මම පිටිපස්ස ෂීට් එකට යෑමේ පිවිතුරු චේතනාවෙන් නැග්ගා වෑන් එකට.. හුටා.... දොර ළඟ ෂීට් එකෙන් රිංගලා පිටිපස්ස ෂීට් එකට යන්න බෑ. කෙට්ටු නිසා එහෙන් මෙහෙන් හිරවෙනවා.. හිකිස්.. දෙපාරක් විතර ට්‍රයි කලා.. ම්ම්හු... හරියන්නේ නෑ... ඕං ගීත් අයියා ගේමට බැහැලා සංජු අක්කවත් වෑන් එකෙන් බස්සලා ෂීට් එක එහාට මෙහාට කරලා හෙන ගේමක් දීලා දාගත්තා මාව ඇතුලට... හප්පේ.. ඔන්න ඒ බාල්දිය මං ම නාගත්තා අලුත් තියරියට අනුව..


ඊට පස්සේ ඉතින් ඒ හැටි දෙයක් වුනේ නෑ යනකම්... ඔන්න ගිහින් සුලු මොහොතකින් ආවා අපේ සීතලයා චේ උන්නැහේ සමග හල් වාවා.. හාවා නම් ආව ගමන් "හලෝ මචං" කියාගෙන ගියා පොටෝ ගන්න.. අලුත් ගෑනිනේ.. පිට යන්න දෙන්නෙත් නෑ.. බෙල්ලේ එල්ලගත්තු ගමන්මයි.. වැසිකිළි ඇතුලෙත් මොනවදෝ හොරෙන් පොටෝ අරගෙන නෝන්ඩි වුනා මේ මනුස්සයා.. චාටර් බං.. චේ උන්නැහේ නම් සාමාන්‍ය පරිදි හිටියා.. කෙල්ලන්ට වයර් දම දමා.. සීතලයාට ඊයේ රස්නිය වැඩි වෙලා.. සීතලේදි වෙන දේට විරුද්ධ දේ වෙලා.. මාර සීන් එකක් එතන.. "මෙහෙම" ටෙන්ට් එකක් ගහලා ඌ.. හික්..


ඔහොම ඔහොම යද්දී ටිකක් දවල් වෙලා කස්ටිය දවල් කෑම ගන්න වෙලාව බලලා රත්ගමයා & රත්ගමයාගේ අලුත් කෙලී එනවා සැණකෙලියට.. අපිට ඉතින් කලින් කියලා තිබුණු නිසා අපි ගියා පිළිගන්න දෙන්නව.. වතුර බෝතල් එහෙම අරගෙන.. හාවත් කැමරාව සූදානම් කරගෙන එහෙම හිටියා.. ඔන්න දෙන්නා දැන් එනවා අපි ඉන්න පැත්තට.. හිටපු ගමන් අලුත් මනමාලි ලඟ තිබුණු වාහනයක් අස්සෙන් රිංගලා අතුරුදහන් වුනා.. ඒකි හෙන කුප්පයි මේ රත්ගමයාට වඩා.. අන්තිමට ජාත්‍යන්තර වතුර පාර කන්න වුනේ අහිංසක රත්ගමයාට විතරයි.. ඌ‍ වතුර බේ‍රි බේරි ඉදිද්දී මනමාලි හිනාවෙනවා... 


පස්සේ සෙට් වුනානේ ඇවිල්ලා හිටි අක්ෂර කස්ටිය පොඩි චැටකට.. ඕං අක්ෂරයේ ඉන්න අය කලින් හම්බ වෙලා තිබුණට නීනු අක්කා සෙට් වුනේ ඊයේ තමා මුලින්ම.. ඊයේ එයා මොනවාදෝ බීලා.. අර රංග අයියට ගෙනාපු ඒවද කොහේද.. මෙයාට දැන් අපි එක එක්කෙනා කිවුවා කවුද කවුද කියලා.. ආයි ටික වෙලාවකින් අහනවා "ඔයා කවුද?" කියලා.. ආයෙත් ටික වෙලාවකින් අහනවා "අක්ෂර කියන්නේ මොකක්ද?" කියලා.. ඒ මදිවට කැමරාවක් අතට දීලා කියනවා පොටෝ ගන්නලු.. එයා මේ මගුලක් කතා කරනවා... මං මේ මගේ කැමරාවෙන්වත් පොටෝ ගන්න වෙලාවක් නැතිව හිටියේ....


ඕං ආයෙත් ස්වයං මඩක්.. ඊයේ හම්බුනානේ දුකා අයියා.. මෙන්න කියනවා "යකෝ මූට ළමයා කියනවානම්  ළමයිට මොකක්ද කියන්නේ" කියලා.. ඉතින් දීපල්ලකෝ උත්තර.. ඒ අස්සේ කවුදෝ.. කිවුවා අනික් උන්ට "කලල" කියනවා කියලා.. හිකිස්... අනේ බොලවු.. මං තාම පොඩි එකා............


අර මාරයා කියන එක්කෙනා ඊයේ හොඳ හොඳ ආතල් දුන්නා අෆ්ෆා.. එයා ඉන්නේ අර කෆීර් කඩාවැටුනු තැනලු නේද.. හිහ්.. මාරයා අයියා බනිස් කෑමේ සිට සිහින කුමාරයා දක්වා තරඟ වලට සහභාගී වෙන්න හිටියත් වුනේ නෑ.. අනික් අයට අවස්ථාව දෙන්න.. මමත් ගොඩක් තරඟ වලින් අයින් වුනා මාරයා අයියා එක්ක තරඟ කරලා දිනනවා ‍බොරු නිසා.. අන්තිමට හොඳම පරාජිතයාගේ දෙවෙනි එකේ පළවෙනි තෑග්ග මාරයා අයියා ගත්තා.. කොහොමද ඩයල් එකගේ වැඩ..........????


ඔය සිහින කුමාරයා තෝරන එකෙත් මාර සීන් තමා වුනේ.. එක්කෙනෙක් හිටියා.. අර අලුත බැඳපු මනමාලයා.. රත්ගමයා.. සිහින මවාගෙන හිටියේ සිහින කුමාරයා වෙලා මනමාලි ඉස්සරහා වැඩ්ඩා වෙන්න.. හිකිස්.. පළවෙනි වටෙන්ම පොර අයින් වුනේ විනිශ්ච මණ්ඩල‍යේ අය කියලා නෙවෙයිලු.. අර කෙල්ල කිවුව නිසාලු.. කෙල්ල කිවුවලු "අනේ රතෝ.. ඔයා දිනලා ඔයා පස්සෙන් කොල්ලෝ එද්දී මටත් කරදරයිනේ" කියලා.. ඉතින් පොර අයින් වුනාලු තරගෙන්.. ඔන්න ඒක වාසියට අරගෙන අර තේ කාරයා දිනාගත්තා... 


ඔන්න ඔහොම ‍ඔහොම සිද්ධි වුනාලු ඉතින්..  ආහ්.. කියන්න අමතක වුනානේ.. සුදු හංසි අක්කා හොරෙන් උස්සපු බත් පැකට් දෙක තුනක් කාලා යද්දී අපේ හාවාට මාට්ටු වෙලා ඕං.. හිකිස්.. ‍අක්කා ඒක කියන්න එපා කියද්දීම මූ ගහලා නෙව පොටෝ එකක්..ඒ මදිවට ආං බුකියෙත් දාලා ඒක.. දැන් හාවාට මරණ තර්ජනලු.... අක්කා කලින් ප්ලෑන් කරලා තිබිලා තියෙන්නේ හාවාව උස්සන්න.. අම්මෝ ඒකව උස්සන්න උගේ තාත්තාගේ ක්‍රේන් එකම ගේන්න වෙනවා....


ආය මේ........ අපේ සුදු අක්කා.. ඔව් ඔව් සිදංගනා තමා.... එයා එන්න ලෑස්ති වෙලා අර හවස කන්න දුන්නු කේක් පෙට්ටි දෙකක් දාගත්තානේ වෑන් එකට.. අනේ මං අහිංසකයාව තමා මේ වැරැද්දට පෙළඹෙවුවේ.. මං කිවුවා බෑ.... කියාලා.. අක්කා කිවුවා.. "නෑ නෑ අරන් එන්නකෝ.. මං කිවුවා කියන්න" කියලා.. හොහ්.. කේක් පෙට්ටිය ගන්නකොටම කොහේදෝ නරි ටිකක් ඉදලා හූ කිවුවේ නැතෑ.. මම ඉතින් මට නෙවේ වගේ සේප් එකේ ඇවිල්ලා නැග්ගා වෑන් එකට.. ඒ කේක් ටික තාම අක්කට කාලා ඉවර කරගන්න බැරි වුනා කියලා අද දවලේ කීවා ඕං...


ආහ්.. තව පොඩ්ඩෙන් කියන්න අමතක වෙනවා.. සමන්මලී කියලා එක්කෙනෙක් මාව මරන්න බලන් හිටියානේ මේ සැණකෙලිය දවසේදී.. මම ඉතින් ලොකු..... චොකලට් එකක් අරන් දෙන්නම් කියලා ෂේප් වෙලා හිටියේ.. හිහ්.. ඒ වුනාට කවුද හලෝ ඕවා අරන් දෙන්නේ.. හූ හූ.. බැරි වුනානේ අර ලොකුවට කිවුවත් වගේ තරහා වෙලා ඉන්න...


හනේ හෆොයි..! කියන්නද දේවල් නැත්තේ.. ඉතින් හැමෝම සිහින බක්මහා උළෙලට ගුණ කියලා තිබුණා.. ‍විස්තර කියලා තිබුණානේ.. මේ ඉතින් මගෙත් එක්ක හිටි කිහිපදෙනෙක්ට වැදුනු මඩ වලින් බොහෝම ජුංඩක්..!


මේ බක්මහා උළෙල තමා මගේ ජීවිතේදී සහභාගී වුන ජොලිම එක.. පට්ටයි ආ.... මේක සංවිධානය කරපු, සාර්ථක කරගන්න උදවු කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි කියලත් අන්තීමටම කියන්නම ඕනි.. 


Monday, April 4, 2011

සැණකෙලියේ මඩ පෝස්ටුවට පෙරගමන්.. සමා පෝස්ටුව..

ඊයෙයි අදයි සිංහල බ්ලොග් අවකාශයේ වැඩියෙන්ම කතා වුන මාතෘකාව ඉතින් ඊයේ දවසේ අති සාර්ථකව පැවැත්වුණු "සිහින බක්මහා උළෙල" නේ.. ඔන්න ඉතින් මං ළමයත් ඊයේ ඒකට සහභාගී වුනා..  ඔය ඉතින් සහභාගී වීම ගැනත් කතා ගොඩක් කියන්න තියේලු.. ඒවා පසුවට.. මට ඊයේ දවස ගැන පෝස්ට් දෙකක් ලියන්නයි කම්පනා කලේ.. එකක් "සමා පෝස්ටුව" ලිපිය. අනික "මඩ පෝස්ටුව". කොයිකද මුලින් ලියන්නේ කිය කියා හිත හිතා ඉඳලා හිතාගත්තා මඩ පෝස්ටුවට කතා මතක් කර කර සමා පෝස්ටුව මුලින් ලියනවා කියලා..


දැන් ඉතින් මේ සමාව ඉල්ලීමේ ලිපියක් කිවුවට මගේ අතින් ඊයේ මුකුත් වැරදි වූනේ නෑ හරිය.. සමාව ඉල්ලන්න තියෙන්නේ වැරදි වලට විතරමයැ. අතපසුවීම් වගේ එවටත් සමාව ඉල්ලනවානේ... හරි හරි මෙන්න මෙහෙමයි වෙන්නේ..


ඊයේ ඉතින් සිහින බක්මහා උළෙලට එද්දී මගේ අරමුණු ගොඩා...ක් තිබුණා.. එකක් දෙකක් ලොවෙත් නැති වෙන්න කුඩු වුනා.. ඒක වෙනමම කතාවක්. ඔය අරමුණු වලින් ම‍ගේ හිතේ තිබුණු ලොකුම උවමනාවක් තමා මේ සයිබරයේ ඉන්න කවදාවත් නුදුටු මගේ යාලුවෝ දැක බලා ගන්න එක.. ඒ අතරිනුත් සමහර අය හම්බවෙලා කතා කරන්න ලොකූ උණක් තිබුණා.. ඔන්න ඒ හම්බවෙලා කතා කරන්න ඕනෙකම තිබූන අය අතරින් කෙනෙක් තමා මේ අපේ රවා අයියා..


ඔන්න මම ඉතින් ගිහින් පූසාව එහෙම හම්බවෙලා කතා කරලා ඇහුවා "‍කෝ බං රවා අයියා?" කියලා. මූ අර කොළඹ වටරවුම් වල ළඟදී හයි කරපු කැමරාව වගේ වටේ කැරකිලා කැරකිලා කිවුවා "දැන් හිටියා බං.. පොර එක තැනක ඉන්නේ නෑ" කියලා.. ඕං ටික වෙලාවකින් තව කාගෙන්දෝ ‍කාගෙන්දෝ ඇහුවා..
ඇත්තටම මං ඇහුවේ කාගෙන්ද කියලා මතක නෑ. කවුරු වුනත් ඌ කියනවා "කතා කරලා බලපංකෝ.. කමෙන්ට්ස් වගේම තමා.. දිඟ කතා තියෙන්නේ" ලු.. හික්..


 අන්තිමේදී මෑන්ස් හම්බුනා ඕං.. හම්බුනාට මොකද මේ මනුස්සයා ඉන්න තැනට ලං වෙනකොට මේකා දුවනවා වෙන තැනකට. එතෙන්ට යනකො‍ට ආයි දුවනවා.. අන්තිමේදී ඕං අල්ලගෙන කතාවක් දැම්මා.. මේං  මේ පොර කියනවා "උඹ වැඩක් නෑ.. මම දෙතුම් පාරක් බලලා ගියා උඹ කතා කලේ නෑ" ලු.. රවා අයියා මගුලක් කතා කරනවා.. "ආව වෙලාවේ ඉඳලා උඹව තමා යකෝ හෙවුවේ" කියලා ඉතින් මම කිවුවේ නෑ. පොඩි කතාවක් දැම්මා. පස්සේ ආයි හොයාගන්නත් නෑ. මං ඉතින් එනකොට සමුදෙන්නත් බැරි වුනා රවා අයියාට.. නයිස් ටු මීට් යූ බ්‍රදර්.. බායි කියලා එන්න බැරි වුනාට සොරි හොදේ...


ඔන්න දෙවෙනි කෙනා.. අපේ ගෝල්ඩ් ෆිෂ්.. මේ මාලුවාවත් මම ගියපු වෙලාවේ ඉඳලා හෙවුවා.. එක එකාගෙන් ඇහුවාම කියන්නේ "ඹය හිටියා බං දැන්" කියලා විතරයි.. එකෙක්වත් පෙන්නුවෙත් නෑ. ඔන්න ආයිත් මතක නෑ කවුද කිවේ කියලා හරිද.. කවුරු වුනත් කිවුවා "පොඩි එකා වගේ හිටියා බං.. හොයාගන්න අමාරුයි" කියලා.. හික්ස්.. හරි හරි.. ඔන්න ඔයත් සමා වෙන්න ඕනි කතා කරන්න බැරි වුනාට..


නම්බර් ත්‍රී.. අපේ පුතණ්ඩියා.. මේ මනුස්සයා නුවර ඉඳලා අපි එක්කම යනවා කිය කියා ඉඳලා තිබ්බනේ අපිට පොල්ල.. හිකිස්.. කතා කොරන්නත් බැරි වුනා වැඩි‍ය.. බිසීනේ කට්ටිය ඊයේ.. ඔන්න මචං අයියා.. සොරිවෙන්ටෝනේ.. ඔයත් හම්බවෙලා කතා කරන්න බලාගෙන හිටියෙ මං.. ඒත් අවස්ථාවක් ලැබුණේ නෑනේ.. :D


ආහ්.. මේ අරයාගේ අරයා... ඉ_ගේ ඉශානි.. මෙයාටත් මඩ බාල්දියක් තියෙනවා මගේ මඩ පෝස්ට් එකේ.. මතෝ සොරි වෙන්නෝනි.. බායි කියලා එන්න බැරි වුනා.. ඉ_ කිවුවානේ වැඩි කතා ඔයා එක්ක කියලා.. ඇයි දන්නෙ නෑ මෙයා...


ආ........... අර මල් අක්කා... ඔව්වොව් ජීවිතේ මල් තමා... එයාවත් අල්ලගන්න බැරි වුනානේ.. එක වචනයක් කතා කරන්න බැරි වුනා එයා එක්ක.. හිහ්.. අපරාදේ.. සෝ සෑඩ් මට.. මම ඔයාටත් කතා කරන්න හිටියේ.. කොහේද ඉතින් මයික් එකක් බදාගෙන හිටියානේ... හිකිස්.. අම්ම්ම්.. නෙක්ස්ට් ටයිම් මයික් එකෙන්ම ඔයාටත් කතා කරන්නම් හො‍දේ.....


තව....................... රංග අයියා.. ජේ.ඩීකොලුවා.. බුද්ධි අයියා & මැරියන් අක්කා, අභීත අයියා, අහිංසකී අක්කා.. තව තව......... ගොඩා...ක් අය.. එක්ක කතා කරන්න බැරි වුනා.. ම්ම්ම්.... ඊළඟ දවසේ මගේ කියවිල්ල අහන්න ලෑස්ති වෙලා එනවා හොඳයි හරිය..


මෙකී නොකී ඊයේ මම කතා කලේ නැති හැමෝම සමාවෙන ඕනි.. ඕං ලොකු කමකට කතා කලේ නෑ කියන්න ඔට්ටු නෑ හරිය.. 


"ද මඩ පෝස්ටුව" බලාපොරොත්තු වන්න.. හිකිස්...

Monday, March 28, 2011

මහනුවර - කොළඹ - හෙන්රි පේදිරිස් - කොටින්ම කිවුවොත් නුවරින් අවුරුදු උත්සවයට..





සයිබර් අවකාශය දැන් හරියට අපේ ගම වගේනේ.. ‍බ්ලොග් එක අපේ ගෙදර වගේ.. හා හොඳයි නැද්ද මං අහන්නේ?? ඔය ගමේම ඉන්න හැමෝම එකතු වෙලා දැන් අලුත් අවුරුද්ද සමරන්නනේ කල්පනාව.. අලුත් අවුරුදු උත්සවයක් හෙම තියලා... ඉතින් දැනටමත් මේ බ්ලොග් අවකාශේ ඉන්න අය දන්නවා ඇති මේ සයිබරයේ සිහින බක් මහා උළෙල ගැන.. තාමත් දන්නේ නැති කෙනෙක් ඉන්නවා වෙන්න නම් බෑ බෑ බමයි..  කමක් නෑ.. අලුත් විස්තර දැනගන්නත් එක්ක මෙතනින් ගිහින් සිහින බක් මහා උළෙලේ නිල බ්ලොග් අඩවිය බලාගෙන එන්න‍කෝ.....


ඔන්න ඉතින් එදාට අපි හැමෝටම මාර ජොලිලු.. ඇයි ඉතින් කවදාවත් ඇත්තටම හම්බවෙලාවත් නැති අය එදාට ගොඩාක් එනවානේ.. මේ සිංහල බ්ලොග් කෙරුවාවෙනුයි, මූණුපොතෙනුයි, බzz එකෙනුයි අඳුනගන්න ලැබුණු අයනේ මේ වැඩි පිරිසක්....


ඔය රට වටෙන්ම එනකොට ඉතින් නුවර ඉන්න අපි නොයා ඉඳීද මං අහන්නේ... නෑනේ.......... අපිත් ඉතින් අනිවා  යන්න ඕනේ... ඒකත් ඉතින් අර ගීත් අයියා කියන්නත් වගේ අපි මෙහේ ඉඳලා තනි තනිවම ගිහිල්ලා එහෙ මෙහේ චාටර් වෙලා කට්ට කාගෙන යනවාට වඩා සැපයිනේ හැමෝම සෙට් වෙලා යන එක.. සෙට් එකම හෙන්රි පේදිරිස් පිටියට බහිද්දී කොහොමද නේ අනික් අය හෙල්මන් වෙලා බලං ඉදී.. අපෝ මෙයාලා එක්ක තරඟ කරලා දිනන්නනම් බැරි වෙයි කියයි.. අනිවා.. අන්න එහෙමයි කන්ද උඩරට අපි.. හරිය......


දැන් ඉතින් මෙන්න මේකයි වෙන්න ඕනි.. නුවර පැත්තේ ඉඳලා මේ එන ඉරිදා.. ඒ කියන්නේ අප්‍රේල් 3 වෙනිදා නුවර ඉඳලා යන, අපිත් එක්ක එකතු වෙලා යන්න කැමති සිංහල බ්ලොග් ලියන අය අපිත් එක්ක සැට් වෙන්න.. අපි එකතු වෙන කස්ටිය‍ අනුව වාහනයක් අරගෙන යනවාද නැත්තං කෝච්යේ හරි බස් එ‍කේ යනවද කොහොමද වැඩේ වෙන්නේ කියලා කතා කරගමු...  හා හා.. දැන් ඔය නුවර අය අත උස්සන් ඉන්නේ නැතිව දාන්න කමෙන්ටුවක්.. නැත්තං දාන්න ලියුමක්.. මෙන්න ඇඩ්‍රස් එක.. chaturnga87@gmail.com ආ.. මේ අපිත් එක්ක සෙට් වෙන්න සෙනසුරාදා වෙනකම් ඉන්න  නම් එපා ඉතින්.. එත‍කොට වැඩ ඔක්කම සාටර් වෙන්න ඉඩ තියෙනවානේ නේද? සෝ.... බ්‍රහස්පතින්දාට කලින්වත් නුවර පැත්තේ ඉඳලා අපි එක්ක යනවා කියලා දැනුම් දෙන්න.. එතකොට අපි හැමෝ.....ටම ලේසී...... 

Saturday, March 19, 2011

අන්සතු මගේ අහිංසකීට......

අම්මට සිරි..! මිස්ඩ්කෝල්ස් 19..! ෂික් එකක් වත් ඇහුනේ නෑනේ.. කොහේද ඉතින් ආය පෙරේතයා පොලේ ගැහුවා වගේ නින්ද ගියේ... ඊයේ උදේ ඉඳලා මැරීගෙන ප්‍රැක්ටිස් නිසා තාම ඇඟ නිකං මොකදෝ මොකදෝ වෙලා.. ඇස් දෙක ඇරෙන්නෙත් නෑ වගේ.. වෙලාව අටයි විස්සද.... නැත්තං හතයි විස්සද... ම්ම්ම්ම්....අම්මා ගායි ටින් එකෙන්... වෙලාව අටයි විස්සයි... 

තිබුණ නිදිමතත් නැති වෙලා ගියා වෙලාව දැක්ක පාර.. ඇයි දෙයියනේ ඒකිට අද ක්ලාස් අටට.. ඒ මදිවට පොත් දෙකම මගේ ළඟ.. අද ඉතින් බඩුම තමා... ඔය ඔක්කම හිතන ගමන් අද අහිංසගේ අහිංසක කම නැති වෙලා මම බැණුම් අහන හැටි සහ සුපුරුදු වදන් ටික දාලා එයාව ෂේප් කරගන්න හැටි මතක් කර කර බාගෙට මූණ හෝදලා බාගෙට කාලා සම්පූර්ණ හැඩ වැඩ වෙලා පාරට පැන්නේ පුලුවන් ඉක්මනින් නුවරට යන්න.. හොහ්... ඒවා කොහේද අපේ පැත්තේ.. බස් එකක් එයි අපිට ඕනෙ වෙලාවට... අඩියට දෙකට පේරාදෙණියට දුවලා ඉස්සෙල්ලාම ආව බස් එකේ එල්ලුනා නුවරට යන්න...

ආ..... හරි ෂෝක් බලු වැඩේ....! මේක යන්නේ ගුඩ් ෂෙඩ් එකට කියන්නේ.. දැන් ඉතින් පලකෝ මාලිගාව ළඟට පයින්... පට්ට සෙනඟ අස්සේ පුලුවන් තරම් වේගෙන් යනකොට තමා දෙමාපියෝ මතක් වෙන්නේ පේමන්ට් එකේ කඩ දාගෙන ඉන්න උන්ගේ.. ඇයි යකෝ හදිස්සියකට යාගන්න බෑ උන් නිසා... කොහොම හරි අවුරුදු දෙකක් ක්ලාස් වල බැහැලා රස්තියාදු ගහලා අතේ ඉරි වගේ දන්න නුවර පාරවල් අස්සෙන් දාලා කොහොම හරි මාළිගාව ලඟට ගියා.. හරි....! දැන් තමා අමාරුම කොටස.. සම්පූර්ණ ආරක්ෂක විධිවිදාන ක්‍රියාත්මක කරලා පාර පනින්න ඕනි.. රාක්ෂණියක් වගේ බලාගෙන ඉන්න හැටි.. අම්මෝ.. මං නිකං අලු වෙලා යනවා වගේ...

ඒ මූණ දිහා බලාගෙනම පාර පැන්නා.. පාරේ මැද හරියෙදී.... "දඩස්..!" කහඉර පුරා හාෆ්ෂීට් පොත් පෑන්.. පොත් කඩයක් ඇගේ හැප්පුනා වගේ... ඒ මදිවට වාහන පෝලිම දැන් හොඳ හැටි.. පොලිස් අංකල් කෙනෙක් විසිල් ගගහා මඟුලක් කරනවා... මේ ලේ කෝප වෙලා ඉන්න වෙලාවේ මේ මල හෝන්තුවත් මගේ ඇගේම හැප්පුනානේ කියලා හිත හිතාම ඇහින්දා පෑන් දෙකක්.. මං ඒ දෙක ඇහිදිද්දී කෙල්ල අනික් ඔක්කම ඇහිඳගෙනත් ඉවරයි..! හික්..

ඒකිත් නරක නෑ.. ස්පෙක්ස් තමා අවුල.. ආච්චිඅම්මගේ දෙකක්ද කොහේද.. පාර මාරු වෙලා අහිංසා ලඟට යනගමන් ආයිත් බැලුවා පාරේ එහා පැත්තෙන් යන ලස්සන පොත් සාප්පුව දිහා..

‍"මොනවද ඔටුවෝ බලන්නේ?"
"නෑ මුකුත් නෑ"
"අද කීයටද නැගිට්ටේ?"
"මං උදේ 6.30ට විතර නැගිට්ටා.. ඊට පස්සේ පාඩම් කලා හලෝ... වෙලාව යනවා දැනුනෙවත් නෑ..."
"ආ ඇත්තද.. එහෙනම් ඒ පාඩම් ටික දැන් මට කියලා දෙනවා.. ඔයා නිසා අද ‍තුන්වෙනි දවසටත් ක්ලාස් යන්න බැරි වුනා මොට්ටයෝ...!"
"හික්... හරියට මං ඉන්න කිවුවා වගේනේ.. මෙන්න ගන්නවා පොත් ටික.. යන එකයි ඇත්තේ.."

මේං යනවා..... පුහ්! මේකිගේ ලොකු සීන්.. පොත් ටිකත් උදුරගෙන යන හැටි මේ ගෙම්බී.. මොනවා කරන්නද ඉතින්.. මගේ සොඳුරු කරදරයනේ මේ...

"මේ මේ ඉන්නවා හලෝ.. යන දිහාවක එනවා මමත්... මං නැතිව ඔයා කොහේ යන්නද.." පස්සෙන් දුවන ගමන් කෑ ගැහුවට මොකද ඉන්නේ පූජාභූමියක් ළඟ කියලා මතක් වුනේ පස්සේ...

මෙයා වැරදිලාවත් ඔලුව උස්සන්නේවත් නෑ.. හෆොයි..! තාම මේ කෙල්ලගේ නෝ කතා.. නෝ සිනා... මමත් නිකං මොකාදෝ වගේ තනියම කියවනවා...

"මේ.. ලබන සතියේ අපේ ටූනමන්ට් එක.. එනවද බලන්න??"
"දැන් කීපාරක් ඇහුවද ඕක අලියෝ... මං එන්න තමා හිටියේ.. ඒත් එන්න වෙන්නෙ නෑ.. මට වෙන වැඩක් තියෙනවා.."
"ආ.. අයියා එක්ක මාලු බාන්න යන්න වෙන්නැති.. හික් හික්"
"ආ.. හරි හිනා.. මේ හලෝ.. අපේ අයියට මුකුත් කියන්න එපා හරී.."

ආය ඉතින් තරහා වැඩි කිරීම හය වගේ තමා අයියට මොනවා හරි කියනවා කියන්නේ.. ආය කතා නෑ ලේසියකට...

ආයිත් සුපුරුදු තනියම කියවිල්ල... 

"මේ හෙට පාටියක් දෙනවද..?"
"ඔයා‍ගේ යාලුවෝ එක්ක මමත් එනවා ගෙදර.. ඉන්නවකෝ.."
"මේ කතා කරන්නෙ නැද්ද අයියෝ... එහෙනම් අර තෑග්ග දෙන්නෙ නෑ.. දෙනවා වෙන කාට හරි.."

ම්හූ.. නෝ කතා..

හෝව්.. හෝව්.... ! දැකලා පුරුදු මූණක් එනවා....

ඈ........ මේං බොලේ අර පොත් සාප්පුව ආයිත් ඉස්සරහාට එනවා... ආවුවුවු...! ඒකිව දැක්ක පාර අහිංසගේ මගේ දිහාට දාපු හොර බැල්ම.. හිහ්.. අපෝ මේ කෙල්ලෝ නම්...ජේ.....!!

ම්ම්ම්ම්ම්ම්ම්.....ආයිත් ඇ‍ගේ හැප්පෙනවාද නැද්ද..... එක්කෝ ඕනෙ නෑ... මේ පාර හැප්පුනොත් නම් කනේ පාරවල් දෙකක් ‍ෂුවර්..! එකක් පොත් ක‍ඩෙන්.. අනික ඉතින්.............. 

ඒ කෙල්ල පහුකරගෙන යනවත් එක්කම ඉතින් මටත් නිකං ඉන්න බැරි නිසා පිටිපස්ස හැරිලා බැලුවා.. කට තියන් ඉන්න බැරිවට...

‍"මේ හලෝ.. අර කෙල්ල මාර ගති නේ..?"
"හුහ්..! එහෙනම් ඉතින් මගේ පස්සෙන් එන්නේ.. යන්නකෝ එයා පස්සෙන්.."
"ඔවු ඉතින් ගියානම් පාඩුත් නෑ වගේ තමා.."
"ඉතිං යන එකයි ඇත්තේ.. මං යනවා බ්‍රිටිෂ්කවුන්සිල් එකට.. ඒකේ ඔය එක එක රිලවු ඇතුලට ගන්නෙ නෑ.."
"ඔව් ඔව්.. රිලවු ගන්නේ නෑ.. රිලවියෝ ගන්නවා ඇති.. ඒකනේ ඔයාට ඇතුලට යන්න දෙන්නේ.."

ෂික්.. අපරාදේ... මේ වෙඩින් බ්‍රිටිෂ්කවුන්සිලේ ලඟට එනකම්ම මතක් වුනේ නෑනේ.. මේකිට ඕක දැක්කාම ඇතුලට යන්නම ඕනි.. ගියාටනම් මොකද.. පැය ගානක් තෝරලා එක පොතක් අරගෙන එනවා මහ ලොකුවට.. ගෙදර ගිහිල්ලා කියවනවාද කියලත් සැකයි වගේ..!

-•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-•--•-

2008 මාර්තු 19 වෙනිදා...
හ්ම්ම්ම්.. මතකද..? අවුරුදු තුනකට කලින් ඒ දවස... ඔයාගේ උපන්දිනේට කලින් දවස... මට ‍ වගේ ඔයාට මතක නැතිව ඇති සමහර විට... අපි එදා තරම් රණ්ඩු වෙන්න නැතිව ඇති කවදාවත්ම... අර කොහෙවත් යන කෙල්ලෙක් නිසා අපි රණ්ඩු වුන තරම්..!

ඒ උපන්දිනේ තමා ඔයා මමත් එක්ක සමරපු අන්තීම උපන්දිනය.. අවුරුදු පහක් මගේ එක්ක උපන්දිනේ සමරපු ඔයාට දැන් උපන්දිනේ සමරන්න.. ඔයා එක්ක ඒ සතුට බෙදාගන්න ඔයාගෙම කෙනෙක් ඉන්නවා නේද..හෙට ඔයාගේ උපන්දිනේ... මට අමතක නෑ.. අමතක වෙන්නෙත් නෑ...

මම මොනවා කරන්නද වස්තුවේ.. හමුදාකාරයෙක්ට දුව දෙන්න අකැමැති වුනේ නැත්තං ඔයාගේ තාත්තා... සමහරවිට ඔයා තාමත් මගේ ළඟ වෙන්න තිබුණා.. දැන් මට ඉතිරි වෙලා තියෙන්නේ වෙඩි සද්දේ අහගෙන බංකරේ අස්සේ ඉඳන් හඳ දිහා බලාගෙන බිඳිලා ගියපු අපේ හීන වල සුන්බුන් එකතු කරන්න විතරයි.. ඒකත් කරන්නේ කොහොමද... සිහියෙන් හිටියේ නැතිනම් තව එක පාරක් ඔයාව දකින්න පෙරුම්පුරන මගේ ඇස් දෙකට සඳහටම පියවෙන්න වෙයි....... අමතක කරන්න අ‍පේ ඒ අතීතය දැන්... සතුටින් ඉන්න...ඉස්සරටත් වැඩිය....

අන්සතු මගේ අහිංසකීට 
සුබම සුබ උපන්දිනයක් වේවා...!!

ප.ලි :- ලිවුව දිගම පෝස්ට් එකද කොහේද... ආ.. අපරාදේ කියවන්න ගිය විනාඩි පහ කියන අය අත උස්සන්න බලන්න....


ප.ලි x 2 :- අනේ මන්දා....!!!


ප.ලි x 3 :- බංකරේ ඉදලා බ්ලොග් පෝස්ට් ලියන්නේ කොහොමද කියලත් අහන්න එපා...

Wednesday, March 16, 2011

අමතක කරන්න..

අමතක කරන්න එයාව...
හැබැයි මතක තියාගන්න..
එයාට, එයා වෙනුවෙන් වෙන කෙනෙක් ඉන්න වග..
අමතක කරන්න එයාගේ ඒ නම...
හැබැයි මතක තියාගන්න...
එයා දැන් වෙන නමක් මුමුණන වග...
අමතක කරන්න එයාගේ ඒ මුහුණ...
හැබැයි මතක තියාගන්න..
ඒ මුහුණ දකින්න වෙන කෙනෙක් ඉන්න වග..
අමතක කරන්න එයාගේ ඒ සිප ගැනීම..
හැබැයි මතක තියාගන්න..
එයාට සිපගන්න වෙන කෙනෙක් ඉන්න වග...
අමතක කරන්න ඒ උණුසුම් වැළඳගැනීම...
හැබැයි මතක තියාගන්න.. 
ඒ උණුහුමට ලං වෙන්න වෙන කෙනෙක් ඉන්න වග..
අමතක කරන්න කාලයක් වින්ඳ ඒ ආදරය..
හැබැයි මතක තියාගන්න.. 
එයාගේ ලොකෙට දැන් වෙන කෙනෙක් ඉන්න වග..
අමතක කරන්න ඒ සුන්දර අතීතය..
හැබැයි මතක තියාගන්න..
මුලු රෑ පුරාම ඔයා අඬද්දී.. 
එයා වෙන කෙනෙක් එක්ක සතුටු වෙන වග...
අමතක කරන්න.. එයාගේ මුලු ජීවිතේම ඔයා කිවූ බව..
හැබැයි මතක තියාගන්න..
මුලු හඳවතින්ම ඔයා තාමත් එයාට ආදරේ කරද්දී..
එයා වෙන කෙනෙක්ටත් ඒ දේම කියන වග..
අමතක කරන්න.. ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ කිවුව බව..
හැබැයි මතක තියාගන්න..
සදහටම ඔයාව තනිකරලා එයා ගිහින් වග..



කලිනුත් කිවුව දෙයක්.. අදත් කියනවා.. ඒත් ඔයා ඇහුවා වගේම එයාව අමතක කරන්නේ කොහොමද කියන දේට උත්තරයක් එදා වගේම අදත් මම ළඟ නෑ.. සමාවෙන්න...

Saturday, March 12, 2011

ඔන්න කෙල්ලෙක් ඉන්නවා...

ඔන්න කෙල්ලෙක් ඉන්නවා... ආයේ එනකල් බලාගෙන ඉන්න .. එයාගේ ආදරේ.. දවසක් දුර ගමනක් යනවා...... ඒ අතරේ හරිම දග හරිම වස කොල්ලෙක්.. ඒ කෙල්ලට මුණ ගැහෙනවා... කෙල්ලට ගොඩක් ලං වෙනවා.. ඒ දෙන්නා ගොඩාක් හොඳ යාලුවෝ වෙනවා..

ඒ දෙන්නා හොඳම යාලුවෝ වුනාට පස්සේ හැම දුකකදීම සතුටකදීම ළගින්ම හිටියා.. ඒ දුක සතුට පුලුවන් තරම් බෙදාගත්තා.. නැතිවම බැරි තරමටම යාලුවෝ වුනා..

ඒ කෙල්ලගේ ජීවිතේ ගොඩාක් දේවල් කොල්ලා එක්ක කිව්වා. කෙල්ලගෙන් ඈත් වුන එයාගේ ආදරේ ගැන.. ගොඩාක් දේවල්... කොල්ලා අහගෙන හිටියා.. කිවුව හැම දේම.. ගොඩක් උත්සාහ කළා.. හිත හදන්න ඒ අහිංසක කෙල්ලගේ.. කොල්ලාට ඒක කරගන්න පුලුවන් වුනාද නම් දන්නෙ නෑ... ඒත් උත්සාහ කළා...

කාලය ගෙවිලා ගියා... දන්නෙම නැතිව කොල්ලා මේ කෙල්ලට ආදරේ කරන්න පටන් අරන්.. ගොඩාක්.. අර හරිම දඟ හරිම වස කොල්ලා දැන් ගොඩාක් හොඳ කොල්ලෙක් වෙලා.. ඒ එයාට හම්බ වුන මේ කෙල්ල නිසා.. ඒ වෙනසට කොල්ලා ගොඩාක් ආදරේ කළා.. ඒ වෙනස ඇති කරපු කෙල්ලට ඊටත් වඩා ගොඩා...ක් ආදරේ කළා.. ඇත්තටම ඒ කොල්ලා කෙල්ලට මාර ආද‍රෙයි...

ඒත් ඒ කෙල්ල එයාගේ ආදරේ එනකල් බලාගෙන ඉන්නවා...ඒ කොල්ලගේ ආදරේ තේරුම් ගන්නේ නැහැ... කොයිතරම් ඒ කෙල්ලට ආදරේ කළත්.. කෙල්ල තේරුම් ගන්නේම නෑ. සමහරවිට කෙල්ල මේ ආදරේ තේරුම් ගත්තද දන්නෙත් නෑ. තේරුම් අරන් හිතේ හංගගෙන ඉන්නවාද දන්නෙත් නෑ..


ටික කාලෙකින් ඒ කොල්ලට ඒ කෙල්ලගෙන් ඈත් වෙන්න ඕනේ වෙනවා.. ආදරේ නැති වෙලා නෙවෙයි.. දුකින් ඉන්න බැරි නිසා ඒ තරම්.. හිත හදාගන්න.. අඩුම තරමින් හිත හදාගන්න උත්සාහ කරන්න.. ඒ කෙල්ල නැති ලොකෙකට හුරු වෙන්න..ඒ වුනාට ඒ කෙල්ල.. මේ කොල්ලට ඒක කරන්න දෙන්නෙම නෑ. ඈත් වෙන්න හඳන හැම වෙලාවකම තව තවත් ලං කරගන්නවා.. 

අනේ ඉතින් අර කොල්ලා මේ කෙල්ලට තාමත් ගොඩාරියක් ආදරෙයි.. ඒ වුනාට ඒ කොල්ලට ඒ කෙල්ලගේ ආදරේ ලබා ගන්න බෑ.. ඒ කෙල්ල තාමත් එයාගෙන් ඈත් වුන ආදරේට ආදරේ නිසා.. ඒක හොඳටම මේ කොල්ලත් දන්නවා..ඉතින් මේ කොල්ලත් හරි  ආසයි ඒ ආදරේ කෙල්ලට ලැබෙනවානම්.. ලැබිලා කෙල්ල ගොඩාක් සතුටින් ඉන්නවානම්..

ඒත් ඒ වගේම ඒ කොල්ලට ඒ කෙල්ලව ඕනි.. ඒ ජීවිතේ හැමදාමත් ‍එයා ලඟින් තියාගන්න.. ආදරේ කරන්න. යාලුවෙක් විදියට.. ඉස්සර හිටියා ‍වගේම.. ගොඩාක් හොඳ යාලුවෝ විදියට ඉන්න.. මැරෙනකම්ම....


ප.ලි :- සිහින තවලම ලියන සුදු හංසි අක්කා කිවුව දෙයක් දැකලා කොහේදෝ අස්සක තිබුණු මොනවදෝ අනංමනං ටිකක් හිතින් පිටනොකරම බැරි වුනා... වෙන කොහේ කාටකියන්නද ඉතින් මේ විකාර මගේ ආදරණීය බ්ලොග්ට හැර..? 

Friday, February 4, 2011

ඉලංදාරියා වෙනුවෙන් නුවර අපි...!

පහුගිය සතිය තුල අපේ බ්ලොග් ලියන්නන් සියලූම දෙනා අතර කතාවට ලක්වුන අපේ සහෝදරයෙක් ඉන්නවා.. ඒ තමා අපි කවුරුත් දන්න ඉලංදාරියා. ඔහුට උදව් වීමට බොහෝ දෙනෙක් ඉදිරිපත් වුනා. කටයුතු කළා. දැනටත් ඒ කටයුතු ඒ විදියටම ක්‍රියාත්මකයි. ඉතින් ‍අපේ දිලුම් අයියා වෙනුවෙන් යමක් කරන්න මමත් නුවරින් සම්බන්ධ වෙන්න බලාගෙන හිටියේ. දැන් මට වගේම නුවර පලාතෙන් ඉලංදාරියා වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ සඳහා මූලික පියවර විදියට අපි සියලු දෙනාම මුණගැසී සැළසුම් සකස්කොටගෙන වැඩ කරන්න වෙනවා. ඉතින් අමිල සහෝදරයා ඇතුලු දිලුම් සහෝදරයාගේ හිත මිතුරනුත් අපිත් එකතු වෙලා සැළසුම් සකස් කරගන්න තීරණය කලා.


  • දිනය - 2011 පෙබරවාරි 06 වෙනි ඉරිදා
  • වෙලාව - උදෑසන 9ට
  • ස්ථානය - ශ්‍රී දළදා මාලිගාවේ විශ්‍රාම ශාලාව



ඉතින් ඉරිදාට නුවරට එන්න පුලුවන් හැමෝම අනිවාර්යයයෙන්ම අපිත් එක්ක එකතු වෙන ලෙසට ඉල්ලා සිටිනවා. ඒක අපිට ලොකු ශක්තියක් වේවි.



  • නුවරදී පැවැත්වෙන හමුව පිළිබඳව වැඩි විස්තර දැනගැනීමට මෙම සබැඳිය යොදා ගන්න.
  • ඒ වගේම මෙම සමස්ථ ව්‍යාපෘතිය යටතේ ඉදිරියේදී ක්‍රියාත්මක වන ආකාරය සහ වර්ථමාන තත්වය දැනගැනීමට "දිලුම් වෙනුවෙන් අපි" බ්ලොග් අඩවිය මෙම සබැඳියෙන් යන්න.
  • ඉලංදාරියා ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් මෙම සබැඳිය තුලින් යන්න.
වැඩිවිස්තර විමසීමට අවශ්‍යනම් අමිලට අමතන්න. මෙන්න ඔ‍හුගේ දුරකථන අංකය - 0716861064
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger