Monday, October 4, 2010

අපේ ඉස්කෝලේ ගැන ලු..

අලෝ කස්ටිය.. ගොඩ..... දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ... ජාත්‍යන්තර බලපෑම් නිසා මගේ කොම්පූටරේට අකුණකින් හානි වුනානේ.. දැන් ෂේප් ඉතින්.. ඔක්කලාම හොදින් නේ....?

මම ඉතින් මේ හිටි හැටියේ එහෙටත් නැති මෙහෙටත් නැති වෙලාවක මොනා හරි කුරුටු ගාලා යන්ට කියලා ආවේ හිතේ තියෙන දේවල් මගේ ආදරණීය බ්ලොග් එකට හැර දැන් වෙන කාට කියන්නදෝ.... කියලා හිතිලා.. ලියන දෙයක් "හැඟීම් වල බර" (පිටස්තරයා කියපු වචනයක්.. මම කැමති වචනයක් :D ) අඩු වෙන්න කලින් ලියන්න ඕනි.. නැත්තං පස්සේ හිතෙනවා මේක ලියලා වැඩක් නෑ.. මොකට ලියනවාද කියලා.. ඉතින් මේ පාන්දර ජාමේ මං කල්පනා කර කර හිටියේ මම උසස් පෙළ හදාරපු ඉස්කෝලේ ගැන සහ යාලුවෝ ගැන....

ඉස්කෝලේ ගිය ඕනි එකෙක් ඉතින් කැමතිම කාලේ නේ උසස් පෙළ කරන අවුරුදු කිහිපය.. ඒ වගේ තම ඉතින් මමත්....යාලුවෙත් එක්ක පිස්සු කර කර ජොලියේ හිටි කාලේ මතක් වෙනකොට නම් එක අතකින් දුකකුත් හිතෙනවා. ආය ඉතින් කවදා කොරන්නද ඒ වැඩ...

ඉතින් ළමයා උසස් පෙළ හැදෑරුවේ පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ.. නවෝධ්‍යා පාසැලක්.. මිශ්‍ර පාසැලක්... මම උසස් පෙළ කරන්න ඉස්කෝලෙට ඇතුල් වුනේ 2007 දී.. සාමාන්‍ය පෙළ කළ ඉස්කෝලෙන් විවිධ හේතු නිසා අයි‍න් වෙන්නම වුන නිසා අස් වෙලා පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුලත් වුනා මිසක් මම මුලදි නම් කැමැත්තකින් නෙවෙයි ඒ පාසලට ඇතුලත් වුනේ.. ඒ වුනාට මොකද වැඩි දවසක් යන්න කලින්ම ජීවිතේ කොටසක් වගේ වුනා මගේ ඉස්කෝලේ..

පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලය දන්න අය ඉතින් දන්නවා අපේ ඉස්කෝලේ තියෙන්නේ කඳු මුදුනක කියලා. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ ඉදලා කිලෝ මීටරයකට ආසන්න ප්‍රමාණයක් ඇතුලින් තමා අපේ ඉස්කෝලේ තියෙන්නේ. පේරාදෙණියට ලගම.. නුවර පැත්තේ ඉදන් එනකොට පේරාදෙණිය පහු කරලා ටික දුරක් එන්න ඕනි...

හිටපු විදුහල්පති කෙනෙක් වුන සෝමරත්න ගුරුතුමාගේ නීතියකට අනුව විදුහල්පතිතුමා හැර වෙනත් ගුරුවරයෙකුටවත් ළමයෙකුටවත් අර ප්‍රධාන මාර්ගයේ ඉදලා ඉස්කෝලෙට තියෙන දුර වාහනයක එන්න බෑ. උදේම ඉතින් කස්ටිය කන්ද නගින්න ඕනි පයින්ම. ඉතින් අපේ පංතියේ හිටියේ 24යි.. ඒ 24 කොලුවෝ 8 දෙනෙයි කෙලි පැංචියෝ 7 දෙනකුයි ඉතින් නිතරම එකට හිටියේ.. ඒ නිසා උදේට හැමදාම ඉස්කෝලෙට යන හන්දිය ලග ඉන්නවා අපේ පංතියේ අය.. යාලුවෝ 15 දෙනා එකතු වෙනකම්... මේ ටික එකතු වුනාම පිස්සු කෙල කෙල අර කිලෝ මීටරේක දුර විනාඩි 45ක් විතර ගාටනවා..

ඔය කන්දේ පයින් යන නීතිය ගැන ගුරුවරු දවසක් සෝමරත්න සර්ට කිව්වේ විදුහල්පතිතුමාටත් මේ නීතිය අදාල වුනා නම් හොදයි කියලා.. එතකොට සර් කිවුවේ "රජතුමා කොහොමත් දෝලාවෙන් යන්නේ. රට වැසියෝ පයින් " කියලා. හිහ්..

මේ කදු මුදුනේ තිබුණු පාසලේ පරිසරයත් හරිම නිස්කලංකයි.. බලන බලන පැත්තේ ගස් වලින්.. පිට වාහන වලටත් පාසලට ඇතුලු වෙන්න අවරසර ලැබුණේ නෑ. ඒ නිසා වැඩි ශබ්ද නෑ.. ගොඩ නැගිලි තුලත් මිදුල තිබුණා.. ගස් වවලා.. සෙවණයි, සිසිලයි එක්ක ෂෝයි.. ඒ පරිසරයත් එක්ක ඉන්නකොට හිතටත් නිදහස්...

පාසලේ ක්‍රීඩා පිටිය‍ට ගියාම ක්‍රීඩා පිටියේ එක පැත්තකින් පේනවා හන්තාන කඳු පෙල වගේම නුවර අවට විශාල ප්‍රදේශයක්. ඒ වගේම පේරාදෙණිය දුම්රිය පොළ සහ ‍විශේෂයෙන්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශාල කොටසක්. අර කලින් කියූ සෝමරත්න සර් කියන විදියට ලංකාවේ ඉස්කෝලෙක ඉදලා විශ්වවිද්‍යාලයක් මේ තරම් හොදින් පේනවානම් ඒ අපේ ඉස්කෝලේ විතරලු. අපේ පංතියට ආව වෙලාවක සර් කිව්වේ "පලයල්ලා කොල්ලනේ පිට්ටනියේ කොනට.ගිහින් කැම්පස් එක දිහා බලාගෙන අධිෂ්ඨාන කරගනිල්ලා කවදා හරි එතනට යනවා කියලා. ගිය දවසක එතන ඉදලා අපේ ඉස්කෝලේ දිහා බලලා පිං දීපල්ලා" කියලා. ඒ වුනාම මට නම් යන්න බැරි වුනා.. බලමු මේ පාරත්.. :))

ම්ම්ම්ම්.... තව.... අහ් !

මම සාමාන්‍ය පෙල කළ ඉස්කෝලේ තමා නුවර තියෙන දරුණුම පාසැල මම හිතන්නේ.. හික්. නුවර අනික් හැම පාසැලක් එක්කම මොකාක් හරි කොක්කක් තිබ්බා.. ඒ වගේම හැම වලියකින්ම වගේ අපරාජිතවත් හිටියා. ඒ ඉස්කෝලේ ඇතුලෙත් පංති අතර එහෙම වැඩි සුහද බවක් නෑ. ලගින් යනකොට හුලගක් වැදුනත් ඇති වලියකට. ප්‍රදේශයේ ප්‍රධාන පොලීසියට අල්ලපු වැටේ තමා ඒ ඉස්කෝලේ තිබුණේ.. අනිත් පැත්තෙන් නුවර පැත්තේ තියෙන ප්‍රධානම විහාරස්ථානයක්! ඒ වුනාට මොකද හැමදාම අපේ ඉස්කෝලේ එකෙක් වරදක් කරලා පොලීසියට අරන් ගියේ නැත්තං එදාට ඉස්කෝලේ නොපැවැත් වුනා වගේ.... :D ඒ වුනාට උසස් පෙළට ඇතුලත් වුන ඉස්කෝලේ හැමෝම ඉතාමත් සුහදව හිටි එක මට ගොඩාක් දැණුනා. ගොඩාක් යාලුවෝ ඇති වුනා.. අපිට වඩා වැඩිමහල් අයත් බාල අයත්.. මිශ්‍ර පාසැලක් නිසා මිතුරියොත් ගොඩාක් හිටියා.. ඉදලහිටලා වලියක් දෙකක් නොතිබුණාම නෙවේ ඉතින්.. ඒ වුනාට මගේ කලින් ඉස්කෝලේ එක්ක බලනකොට පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ විනය 100% අර මගේ කලින් ඉස්කෝලේ ඉදලා ආව අය ටිකක් විතර විනය නැති වුනාට... ඒ විනය නැති වුන "ටික" ගැන කියනවානම් 2008දී, ඒ කියන්නේ අපි ඇතුලත් වුන වසරට පස්සේ වසරේදි උසස් පෙළ සදහා මම කලින් ඉගෙනුම ලැබූ පාසලෙන් ආව සිසුන් පේරාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට ඇතුල් කරගත්තෙත් නෑ. විලි ලැජ්ජාවේ සංතෝසේ බෑ.. :D

ඒ කොහාම වුනත් අපේ ඒ ටිකක් විතර නැති වෙලා තිබුණු විනයත් අපි තුල ඇති වුනා නිරායාසයෙන්ම.. ඒ පාසල තුල ඉදිද්දී...

ඉතින් ඔහොමයි අපේ ඉස්කෝලේ සරළව විස්තර. ඉස්කෝලේ කරපු වැඩ නම් බොහෝමයි. ඒ දවස් වල සමහර වැඩ කරද්දිත් දැන් යාලුවෝ එක්ක සෙට් වුන වෙලාවක ඒවා ගැන කතා කරද්දිත් මාර සතුටක් ඇති වුනත් සමහර දේවල් මේ වගේ ලියන්නත් නිකං මොකද මොකද වගේ.. හික්. ඉස්කෝලේ ගිය අයට ඉතින් කියලා දෙන්න ඕනි නෑ නේ.. විශේෂයෙන් කොල්ලොන්ට. ඒ වුනාට හැමෝම කරන දේවල් වලට වඩ වෙනස් දේවලුත් කරා. අරන්න ඒවා තමා කියන්න ටිකක් අමාරු.. හිතුනොත් වෙලාවක ඒවත් ලියලා දාන්නම්කෝ..

ඉතින් ඊයෙත් අපේ හොඳම යාලුවෝ අට දෙනා හම්බ වුනා.. මේ අට දෙනා මූලික කරගෙන 2009 උ.පෙ කළ බොහෝමයක් අපේ ඉස්කෝලේ යාලුවොත් එකතු කරගෙන පොඩි සංගමයක් හදාගෙන හිටියා.. නම තමා "නිතර පස්පව් සංගමය" කෙටියෙන් කිව්වේ "NPPS". ඉතින් ඉස්කෝලේ තිබුණු ක්‍රීයාකාරීම සංගමයක් තමා. නමෙන්ම තේරෙනවානේ අපේ ක්‍රියාකාරකම්.. යාලුවෝ හම්බ වෙලා අතීත ආවර්ජනයට පස්සේ හැමදාම ඉන්න කවුරු හරි කියනවා වගේ ඊයේ මමත් කිවුවා "මචං ආයෙත් ඉස්කෝලේ යන්න තියෙනවානම් පට්ට නේ බං" කියලා. ඕක කවුරු කිව්වත් ඊට අදාල උත්තරේ දෙන එක්කෙනයි ඉන්නේ.. නම ඕනි නෑ. උඹ මේක කියවනවා කියලා මම දන්නවා.. උත්තරේ තමා "ඉස්කෝලේ යන්න තිබ්බනම් ආතල්.. හැබැයි උදේ ඉදලා හවස් වෙනකම් උගන්නන්නේ නැතිව පිස්සු‍ කෙලින්න විතරක් තිබ්බනම්" කියලා...

ඊයේ ඒ හම්බ වුනේ අපේ NPPS තණතුරු දරණ සාමාජිකයො සියල්ලම එකවරක හම්බ වුන අවසාන හමුව.. දීරිඝ කාලයකට ආය අපි හැමෝම එක තැනකදී හම්බ නොවේවි.. උසස් අධ්‍යාපන කටයුතු, රැකියා.. ඕවා තමා හේතු.. දැන් අපි ලොකු ළමයිනේ.. ඉතින් හිතට ටිකක් දුකයි.. අනාගතේ කවදා හරි දවසක හම්බ වේවිනේ... එදාට රජ මගුල්! :))

ඉතින් අන්තිමට පස්පව් සංගමයේ මූලික අට දෙනාගේ පිංතූරයක් දාන්න අසයි. දැම්මොත් මරනවා කියලා කිව්ව නිසා නොදා ඉන්නම්.. එවත් අනාගතයේ දවසක දාන්නම්කෝ හැමටම බලාගන්න.. පස්පවින් තොර ඒ පිංවන්ත මූණු ටික...

ඒ වෙනුවට මේ පිංතූර දෙක තුන දාන්නම්කෝ. මේ තමා අපේ ඉස්කෝලේ... හලිය...


මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ ඉදිරියෙන්


මේ ක්‍රීඩා පිටියේ කොටසක්.. අර පේන්නේ හන්තාන ‍ඒම...


මේ අපේ ඉස්කෝලේ බොක්සං සැට් එක.. ඔව් ඔව්..
අනුරුද්ධ රත්නායකත් අපේ ඉස්කෝලේ පොරක් ;)

තව පිංතූරනම් තියෙනවා ඉතින් ගොඩාක්.. පසුවට ඒවා. :D මූණුපොතේ අපේ ඉස්කෝලේ පිටුවටත් ගිහින් බලන්නකෝ.. එතනත් තියෙනවා විස්තර සහ පිංතූර.. මේ තියෙන්නේ අපේ ඉස්කෝලේ වෙබ් අඩවිය... http://www.peradeniyacc.sch.lk/ ඒකත් බලන්නකෝ....

හලේ... පාන්දර 4.30 විතර ඉදලා ලීවේ මේ.. ටිකක් දිගත් වැඩී වගේ.. දැන් 6 පහුවෙලා.. නොනිදා රැයක් ගත කලා ළමයා.. පිස්සු නැත්තං ෂෝක්ලු..හිකිස්.

ලියපු දේවල් නම් අලේ මන්දා.. ඔන්න ඔහේ ඕන් වෙඩින් එකක් කියලා ඕන්න මම Publish Post click කොලා..
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger